රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් මැදිහත් වී ඉතා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලු සම්බන්ධයෙන් අද (01) දින පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය විසින් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා රජය වෙත අවධාරණය කරන ලදී.

ඒ අනුව ලිඛිතවද ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලද අතර අදාල ලිපිය සැකෙවින් මෙසේ උපුටා දක්වමු.

රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

” පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ” රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන 21 කින් සමන්විත සංවිධානයකි. ඉතිහාසය පුරා එම සංවිධාන සිය වෘත්තීය ප්‍රශ්න වලට අමතරව රටේ පොදු ගැටලු හා නිරන්තර සම්බන්ධ වී කටයුතු කර ඇත. ඒ අනුව බරපතල ලෙස ජනතාවට බලපානු ලබන ප්‍රශ්ණ කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකොට ඒවාට වහාම විසඳුම් ලබා ගැනීමේ අපේකෂාවෙන් මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි.

කාවිඩ් වසංගත තත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව මාජ ආර්ථික වශයෙන් බරපතල පීඩනයත් රාශියකට මුහුණ දෙමින් සිටී. රජයේ සමහර බලධාරීන් විසින් අනුගමනය කරනු ලබන යම්යම් ක්‍රියාමාර්ගයන් නිසා ජනතාව මුහුණ දෙනු ලබන ජීවන තත්වයන් පමණක් නොව මානුෂික හා සමාජමය වශයෙන්ද බරපතල පීඩනයනට ජනතාව ගොදුරු වෙමින් සිටී.

දරුවන්ගේ අධ්‍යාපනය මුළුමණින්ම බිඳ වැටීම වළක්වාලීම

කොවිඩ් වසන්ගතය නිසා පාසැල් විවෘත කිරීමට ඇති අපහසුතාවයන්ට එහා යමින් ගුරු විදුහල්පති වැටුප් විසමතාවයට පිළිතුරක් ලබා දෙන්නට රජය අපොහොසත් වීම රටේ දරුවන්ගේ අධ්‍යාපනය මුළුමණින්ම බිඳ වැටීමට හේතුවී තිබේ. එහි වගකීම රජය දැරිය යුතු යැයි අපි විශ්වාස කරමු.

පාසැල් වසා දැමීම නිසා බිඳ වැටෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනවෙන් ගුරු විදුහල්පතිවරු ස්වෙච්ඡාවෙන් හඳුන්වා දුන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ද අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අදූරදර්ශී හා ක්‍රියාවන් හා ගුරු සටන විසඳීම වෙනුවට මර්ධනය කරන්නට ප්‍රවේශ වීම නිසා අතර මැද අතහිටුවා වැඩවර්ජන තත්වයක් දක්වා ඔවුන් යොමු කිරීමට හේතු වූ බව අප සංවිධානයේ අදහස වේ.

දැනට දින අසූවකට අධික කාලයක් ගත වී ඇති ප්‍රශ්ණයට විසඳුම ගුරු සංවිධාන නායකයන් අත්අඩංගුවට ගැනීම හෝ සමස්ථ ගුරුවරුන් පීඩාවට පත් කිරීම නොවන බව වගකීමකින් මෙහි සටහන් කරමු.

මේ අතර ගුරුවරු සහ ඔවුන්ගේ වෘත්තීය නායකයන් පීඩාවට පත්කිරීමේ ආසන්න ක්‍රියාව වී ඇත්තේ දැනට මාස එකහමාරකට පෙර වෘත්තීය විරෝධතා ක්‍රියාවක් ලෙස පැවැත්වූ රථ පෙළපාලියකට සම්බන්ධ වූ වාහන හිමිකරුවන් පවා කොළඹ කොටුව පොලීසිය වෙත කැඳවීමයි

මෙවැනි මර්දනකාරී වැඩ පිළිවෙලවල් යෝජනා කර ක්‍රියාත්මක කරන නිළධාරීන් සහ ඔබගේ රජයේ ඇමතිවරුන් නිසා ප්‍රශ්නය විසඳනවා වෙනුවට තව දුරටත් ප්‍රශ්ණය අවුල් කෙරෙන බව අපගේ මතයයි. මර්දනකාරි ක්‍රියා පිළිවෙතින් බැහැරවී ගුරුවරුන්ගේ වෘත්තීය ප්‍රශ්ණයට නිසි විසඳුමක් ලබාදී රටේ මුළුමහත් දරු පරපුරේ අධ්‍යාපනය තහවුරු කරන්නට රාජ්‍ය නායකයා ලෙස ඔබ මැදිහත් විය යුතු බව ” පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ” අපේකෂා කරනු ලබයි

කොතලාවල විශ්ව විද්‍යාල පනත

ඔබ තුමාගේ රජය විසින් හඳුන්වා දී සම්මත කර ගන්නට උත්සාහ කරනු ලබන කොතලාවල විශ්ව විද්‍යාල පනත නිසා ද රටේ උසස් අධ්‍යාපන සංස්ථාවන් මුළුමණින් ම බිඳ වැටීම පැහැදිළි සත්‍යයකි. විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යන සේවකයන් පමණක් නොව රටේ බහුතර වෘත්තීය සමිති සහ වෘත්තිකයන් හැම දෙනෙක් ම පාහේ මෙම පනතට එරෙහිව තදින්ම විරෝධය දක්වන බව රහසක් නොවේ.

මින් පෙර අවස්ථාවන්හිදී ද නිදහස් අධ්‍යාපනය හරස් කිරීමේ අරමුණින් පිහිටු වීමට උත්සාහ කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සයිටම් වෛද්‍ය විද්‍යාලය පරාජය කළ බව ආසන්න අත්දැකීම් ලෙස සිහිපත් කරන අප සංවිධානය මෙම බරපතල ජනතා විරෝධය පිළිගනිමින් කොතලාවල විශ්ව විද්‍යාල පනත අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, ආරක්ෂක අංශ සඳහා පමණක් එවැනි විශ්ව විද්‍යාල ඇති කිරීමට අප විරුද්ධ නොවෙමු.

කොතලාවල පනතට එරෙහිව පසුගිය අගෝස්තු 03 වෙනි දින සංවිධානය කළ උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයකට කිසිසේත්ම සාධරණීය නොවන මර්දන ක්‍රියා මාර්ගයන් තෝරා ගනිමින් එහි නායකයන් හා ක්‍රියාකාරීන් අත් අඩංගුවේ රඳවා දින හැටක් ඉක්මවා ගොස් තිබේ. මෙය මෙරට ව්‍යවස්ථාවට පටහැනි මානුෂික අයිතීන් උල්ලංඝණය කරනවා පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කිරීමකි. විශේෂයෙන් පොලීසිය අසාධාරණ චෝදනා ගොනු කරමින් ඔවුනට ඇප ලබා ගැනීමට හෝ අවස්ථාවක් නොදී මැදිහත් වීම් සිදු කරමින් සිටින අතර විශේෂයෙන් තරුණ නායක නායිකාවන් බොහෝ දෙනෙකුට බන්ධනාගාරය තුළ දී කොවිඩ් ආසාදනය වී ජීවිත අනතුරට පවා ලක්වෙමින් සිටී.

තව දුරටත් මේ අවස්ථාවට සම්බන්ධ වූ වෘත්තීය සමිති නායකයන් හඹායමින් සිටින පොලීසිය අප සංවිධානයේ ප්‍රධාන සාමාජික සංවිධානයක් වූ ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටී.

කිසිදු රජයකයට මර්දනය තුළින් තම රජයේ යහපැවත්ම පවත්වාගෙන යාමට නොහැකි වූ බව ඉතිහාසගත අත්දැකීම් සිහිපත් කරන අතර කොතලාවල පනත සම්බන්ධයෙන් වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට රිමාන්ඩ බන්ධනාගාර ගතකොට සිටින සියළු දෙනා නිදහස් කරන ලෙසත්, අත්අඩංගුවට ගැනීම සඳහා කරනු ලබන ලුහුබැඳීමේ හා නිවැසියන්ට බලපෑම් කිරීම් නතර කරන ලෙසත් ඉල්ලමු. ගුරු විදුහල්පති වැටුප් අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය යළි පණ පිහිටුවන්නට මැදිහත්වෙන ලෙස පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය” ඔබගෙන් බලකර ඉල්ලා සිටී

පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

01.10.2021

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *