සංකථන

1. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේ දේශපාලනය වෙනුවට ‘යුක්තිය අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී මහජන දේශපාලනයක්’ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමෙනි.  (සම්පූර්ණ ලිපිය)

2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වසර 70ක් තිස්සේ අත්දුටු විකෘතිය සහ ඒ පිළිබඳ ව අපේ ඇති කලකිරීම් බොහෝ විට දේශපාලනඥයන්ගේ අකටයුතුකම්වලට ලඝු කිරීමෙන් පිළිබිඹු වන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් වසයෙන් කෙසේ වෙතත් ප්‍රමිතියක් වසයෙන් අප තවමත් පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් කොට සලකන බවයි. එහෙත් අප අත්දකින ආකාරයේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයකට ඒ පරමාදර්ශය අපට අත් කර දිය නො හැකි බව පෙනේ. (සම්පූර්ණ ලිපිය)

3. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

නූතන යුගයේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව ඇරඹෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනයක් ලෙස 18 වැනි සියවසේ දී ප්‍රංශ දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ විසින් ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක්’ පිළිබඳ සංකල්පය හඳුන්වා දෙනු ලැබීම සමඟයි. උතුරු ඇමෙරිකාවේ ප්‍රංශ ජනාවාස බහි කිරීමට ගිය ගවේශකයන් ඇමරිකානු ස්වදේශික ජනයාගේ පාලන ක්‍රම සහ ඇවැතුම් පැවතුම් ගැන ලියූ දේවල් රූසෝ කියවා තිබුණි. (සම්පූර්ණ ලිපිය)

4. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය

හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් සන්තුලනය කර බලන සාකච්ඡාවක්’ යන අදහස දෙන Deliberation යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන තේරුම සඳහායි. තවත් අන්දමකින් කිව හොත් සංවිචාරණීය සාකච්ඡාවක් යනු ඉදිරිපත් කරන කරුණු පිළිබඳ පොදු එකඟතාවක් සඳහා එකී කරුණු විවේක බුද්ධියෙන් (reason) හේතු යුක්ති සහිත ව සාකච්ඡා කිරීමයි. (සම්පූර්ණ ලිපිය)