මේ කතාව බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවිකාවක ගෙන්…

By Chandra Devanarayana

තවමත් තරුණ වියේ පසුවන ඇය දෙදරු මවක්. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුණු ඇය සිය ස්වාමි පුරුෂයා සමඟ බියගම නිදහස් වෙළෙඳ කලාපය ට පැමිණියේ රැකියාවක් කර ගෙයක් දොරක් සාදාගෙන දරුවන් සමඟ නිදහසේ ජීවිතය ගත කරන්නට සිතාගෙනය.

නමුත් ඒ සිතුවිලි සියල්ල බිඳ දමමින් සිය ස්වාමි පුරුෂයා දවසින් දවස වෙනස් වෙමින් බිමතින් නිවසට පැමිණ ඇයට ලේ ගලනතුරු පහර දෙන්නටත්,වෙනත් මිනිසුන් පාවා දෙන්නටත් සහ දරුවන්ට ද කරදරයක් වන ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ අතමිට මුදල් ගැවසෙන්නට පටන්ගත් පසුය.

වසර දහයක් පමණ මේ සියල්ල ඉවසූ ඇය පසුගිය දිනෙක ඔහු ගැසු පහරක් හේතුවෙන් රෝහල් ගත වන්නට ද සිදු වූයෙන් ඇය එම අවස්ථාවේ පොලිසියේ පිහිට පැතුවේ ඔහුගෙන් දික්කසාදය ලබා ගන්නටය.

එක්ව ජීවත් වූ කාලයේදී වැඩි කාලයක් ඔහු උපයන වැටුපෙන් දරුවන්ට හෝ ඇයට එකදු සතයක් හෝ ලබාදී නැති අතර ඔහු කර ඇත්තේ උපයන වැටුපෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමයි

එසේම එම කාලය තුළ ම ඔහු නඩත්තු කර ඇත්තේද ඇය විසිනි. දරුවන් වෙනුවෙන් මේ සියල්ල ඉවසා සිටිය ද එන්න එන්නම ඔහු තමාට කරන අපහාස උපහාස මෙන්ම පහරදීම් ද ඉවසා සිටිය නොහැකි තැන දික්කසාදය සඳහා යන්නට ඇය තීරණය කර ඇත.

මෙයින් තමාගේ ජීවත්වීමේ මාර්ගය ඇහිරෙනු ඇතැයි බියවී එයින් බොහෝ සේ කිපුණු මෙම ස්වාමිපුරුෂයා පොලිසිය නොමග යවමින් බොරු පැමිණිලි දමමින් මෙම කාන්තාව නිතර නිතර පොලිසියට ගෙන්වන තත්වයට පත්විය.

ඔහුට අවැසි වී ඇත්තේ ඇය දැමූ පැමිණිල්ල ඉවත් කරගන්නට නිසා ඇය කියන්නේ ඔහු විසින් පොලිස් නිලධාරීන්ටද අල්ලස් ලබා දෙමින් තමාට පොලිස් ස්ථානයේදී පවා නින්දා අපහස කරන බවයි.

ඇය අපට පැවසුවේ පොලිස් ස්ථානයට ගිය පසු ස්වාමිපුරුෂයාගේ බොරු කතා වලට හසුව සිටින පොලිස් නිලධාරීන් ද ඇගෙන් නානාවිධ ප්‍රශ්න අසමින් ඇය අපහසුතාවයට පත් කරන බවයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සමින් තමා ඉතා අපහසුතාවයට පොලිසියේ දී පත් කරන බව ද ඇය අපට කියා සිටියේ සියල්ල කෙරෙහි කලකිරීමෙනි.

එමෙන්ම දරුවන් දෙදෙනෙකු සාදමින් වසර දහයකට ආසන්න කාලයක් එකට ජීවත් වූ බිරිඳට මෙම නොහික්මුණු ස්වාමිපුරුෂයා විවිධ කතා සදමින් ඇයට රැකියාව කරන්නටත් බැරි තත්වයක් උදා කර ඇත.

ඔහු පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දමමින් ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳට අනියම් ස්වාමි පුරුෂයන් සිටින බවත් එසේ අනියම් පුරුෂයෙක් සමග සිටින විට තමා ඇයට පහර දුන් බවත් පමණක් නොව ඇය සේවය කරන සේවා ස්ථානයේ දන්නා හඳුනන සේවකයින්ටත් ඔහු මෙලෙස ම ප්‍රකාශ කර ඇත.

තමා විසින් සිදු කළ වරද වසා ගන්නට සහ ප්‍රශ්නයෙන් පැන යෑම සදහා බොහෝ පිරිමින් කරන්නේ කාන්තාව දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇය වරදකාරී කාන්තාවක් ලෙස හංවඩු ගසමින් සමාජයට ඇය පිළිබඳ අසංවර සීලී අදහස් ගලායාමට සැලැස්වීමය.

ඔහුද එවන් පිරිමියෙකු බව අප එකහෙලාම කිව යුතුය.

නමුත් දරු දෙදෙනකුගේ අම්මා කෙනෙකු ලෙස මේ දිරිමත් ගැහැනිය ඒ සියල්ලට මුහුණ දෙමින් රැකියාව කරමින් ජීවත් වෙන්නේ දරු දෙදෙනා ගේ අනාගතය යහපත් කරවීමේ අභිලාෂයෙනි.

නමුත් අපට කියන්නට අවැසි වන්නේ මෙවැනි ගැහැනුන්ට අදාල කටයුතු කරදීම සඳහා ඇති ස්ථානවල නිලධාරීන් ද හැසිරෙන්නේ මෙවැනි අතවරයන්ට ,අසාධාරණයන්ට ,අයුක්ති සහගත ක්‍රියාවන් ට පත්වන මෙවැනි කාන්තාවන් අදාළ පිරිමියා කියන ආකාරයේ නොහොඹිනා ගැහැණුන් ලෙස ය

මෙය එක් අවස්ථාවක් පමණි. තවත් මෙවැනි කාරණා රාශියක් ඇත. මේවා පොදුය .නිදහස් වෙළඳ කලාපයට පමණක් සීමා වන්නේ නැත. සියලුම තැන්හි කාන්තාවන් බොහෝවිට සිය ස්වාමි පුරුෂයාගෙන්, පෙම්වතාගෙන් සේවා ස්ථානයේ පිරිමින්ගෙන්, මගතොටේදී ඇතුළු බොහෝ ස්ථානවල දී අතවර කරදරවලට මුහුණ පාන්නීය.

මෙවැනි අවස්ථාවන්හිදී ඇයට සාධාරණය ඉෂ්ට කර දීම සඳහා ඇති පොලීසිය, උසාවිය වැනි ස්ථානවලදී වලින් ඇති තතු සොයා බලා කාන්තාවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර දිය යුතුය.

තරුණ කාන්තාවන් මෙවැනි කාරණා සඳහා ඉදිරිපත් වන අවස්ථාවේ මැදිහත්වන තැරැව්කරුවන් ගෙන් ද ඇය මුදාගත යුතුය. එසේම දික්කසාද නඩුවක් ගොනු කල පසු නඩත්තු මුදල් නොගෙවා පැන යන මිනිසුන් ගැන ද නීතියේ අවධානය යොමු විය යුතුය.

මා විසින් මෙහි සදහන් කල කතා නායිකාව ගේ දික්කසාද නඩුව මේ වන විට අධිකරණයේ ගොනු කර ඇති අතර ඇයට නීති සහාය අවශ්‍ය බව ද ඇය කියා සිටී

මේ ඇය වෙනුවෙන් සහයක් අවැසි මොහොතයි.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *