ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

විජේපාල වීරකෝන් විසිනි

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයකය. රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී පවතී. භාණ්ඩ මිල පාලනය සහ නිෂ්පාදනය සම්පූර්‍ණයෙන්ම පාහේ පවතින්නේ ජාවාරම්කරුවන් අතේය. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්නා සෑම පියවරයකටම විරුද්ධව ජාවාරම්කරුවන් එම භාණ්ඩ වෙළඳපොලෙන් අතුරුදන් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා මාර්‍ගය හා සමානුපාතිකව රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ගෑස් මිල ඉහල දැමුවේ දෙගුණයකිනි. සහල්, සීනි, කිරි පිටි, පාන් පිටි, සිමෙන්ති ආදී ද්‍රව්‍යවල මිල ඉහල ගියේ ඉතා විශාල ප්‍රමාණයකිනි. 

මෙම කාලය තුල වැඩ කරන ජනතාවගේ වැටුප ශතයකින්වත් වැඩි නොවුනි. ඩොලර් නොමැතිකම නිසා ආණ්ඩුව පොහොර ආනයනය නවතා දැමුවේ රසායනික පොහොර ජනතාවට අහිතකර බව පවසමිනි. මේ තත්වය තුල ආණ්ඩුව රාජ්‍ය දේපල විදේශවලට විකුණා දමමින් සිටිති. රටේ භූමිය සේල් පොලක් වී හමාරය. ජනතාවට සහන වශයෙන් ඉතිරි වී ඇති අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට විකුණා දමමින් සිටිති. මෙහි එක් සන්ධිස්ථානයක් වූයේ විශ්ව විද්‍යාල පද්ධතිය මිලිටරිකරණය කිරීමට යාමෙනි. එම ක්‍රියා මාර්‍ගයට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුවෝ වීදිවලට අවතීර්ණ විය. රටේ වැඩ කරන ජනතා කොටස් ද එයට සහාය දක්වන්නට විය.  මෙයට සහාය දීමට පැමිණි ගුරු නායක ජෝසප් ස්ටාලින් අත් අඩංගුවට ගැනීම නිසා වසර 25 ක පමණ කාලයක් නොවිසඳී පැවති පැවති ගුරු වැටුප් විෂමතාවයට එරෙහි අරගලය පිම්මක් ඉදිරියට පැන්නේය. කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමීම හේතුවෙන් ගුරුවරු ස්වේච්ඡාවෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ ක්‍රියාත්මක කළ අධ්‍යාපනයද ගුරු මර්ධනය නිසා නැවැත්වීමට ගුරුවරු ක්‍රියා කළෝය. ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ආකාරයට ග්‍රාමීය මට්ටමේ පාසල්වල ගුරුවරු පවා සටනට අවතීර්‍ණ විය. මෙය ජනයාට අළුත් අත් දැකීමක් විය. මෙම අරගලවල ප්‍රතිඵලයක් ලෙස ගුරු වැටුප් අරගලය ජයග්‍රහණයකින් කෙළවර වී ඇත. 

ආණ්ඩුව පිමි ගණනාවක් පසු බැස ඇත. ගුරුවරුන්ගේ මෙම ජයග්‍රහණයත් සමගම රටේ අනෙකුත් ක්‍ෂේත්‍රවල වැඩ කරන ජනයාද තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට ඒම අනිවාර්‍ය්‍යය. පුද්ගලික අංශයේ සේවකයන්ව තමන්ට අවශ්‍ය පරිදි සූරා කා වැඩ ගැනීමට හාම්පුතුන්ට අවස්ථාව ලබා දී ඇත. පුද්ගලික අංශයේ සේවකයන් ගැන සොයා බැලීමට කම්කරු දෙපාර්තමේන්තුවවත් නිසි පරිදි මැදිහත් නොවේ. හාම්පුතුන් වෘත්තීය සමිති මර්ධනය කිරීමේ ක්‍රියා නොබියව කරගෙන යති. මේ සඳහා එම සේවකයන් සංවිධානය කිරීම අත්‍යවශ්‍ය වී ඇත. නමුත් සංවිධානය වන කම්කරුවන්ව විනය පරීක්‍ෂණ පවා නොතබා දොට්ට දැමීමට හාම්පුතුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ඉඩ දී ඇත. මෙම තත්වයට එරොහිව සේවකයන් ඉදිරියට ඒමට කාලය පැමිණ තිබේ. මෙය හුදු වෘත්තීය සමිති සංවිධානය වීමක් ලෙස නොව දේශපාලන කටයුත්තක් ලෙස සලකා ක්‍රියාත්මක කළ යුතුව ඇත. අප ගුරු සටනින් පාඩම් උගත යුතුය.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *