පරිසරය රැකීමට කටින් බතල කොළ සිටුවන රාජ්‍ය නායකයෝ

Originally published on https://vivaranalk.com/පරිසරය-රැකීමට-කටින්-බතල-ක/

By Mahinda Hattaka

Post published:November 8, 2021

බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් (වම), සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්, (දකුණ), පලස්තීන අධිකාරියේ අගමැති මොහොමඩ් ෂ්ටයියේ වෙත ආචාර කරති

පසුගිය දින එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි පැවැත් වූ COP 26 ගෝලීය උණුසුම් වීම වැළැක්වීමේ රාජ්‍ය නායකයන්ගේ හමුව ලෝකයේත් මිනිසාගේත් අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසුවේය. කාර්මික කරණය ඇතුළත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කිරීම හෝ වායුගෝලය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වා ගැනීම අරමුණු කර ගත් එකඟතා නියමිත කාල සීමාව තුළ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක සැලසුම් සකස් කර ගැනීම මෙම සම්මේලනයේ අරමුණකි. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මෙම සමුළුව සාර්ථක කර ගැනීමට විශේෂ උනන්දුවක් දැක් වූයේය. ලෝක බලවතුන් සියලු දෙනා ම කැඳවා ගැනීම ඔහුගේ අරමුණ වුවත් රුසියාවේ සහ චීනයේ රාජ්‍ය නායකයන් ඊට සහභාගි වූයේ නැත.

චීනයේ සහභාගිත්වය විශේෂයෙන් වැදගත් වන්නේ දැනට වායුගෝලයට වැඩියෙන් ම කාබන් ඩයොක්සයඩ් මුදා හරින රටක් වන නිසා ය. චීන ජනාධිපති සී ජින්පෙන් සමුළුවට සහභාගි නොවී ලිපියක් ඉදිරිපත් කිරීම බටහිර ජනමාධ්‍යයේ විවේචනයට ලක් විය. චීන නායකයාගේ නො පැමිණීම වඩාත් කැපී පෙනුණේ එකසත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සහභාගිත්වය නිසා ය. පරිසරය පිළිබඳ පැරිස් ගිවිසුම එක්සත් ජනපදයේ ආර්ථිකයට අහිතකර සේ බලපාන බව පැවසු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉන් ඉවත් වීමෙන් පැරිස් ගිවිසුම සාර්ථක කර ගැනීමට නො හැකි වනු ඇතැයි බියක් තිබිණ. නව ජනාධිපති ජෝ බයිඩන් දේශගුණ විපර්යාසය පොදුවේ මානව වර්ගයාට මුහුණ දීමට ඇති අභියෝගයක් නිසා නැවතත් එම ක්‍රියාවලියට එක් වූයේ ය. යුරෝපා සංගමය මුල සිටම පැරිස් ගිවිසුම සාර්ථක කර ගැනීමට කැප වූ එකතුවකි.

ඇමේසන් වන විනාශය

ධ්‍රැව කලාපීය අයිස් තට්ටු දියවීමෙන් සාගර ජල මට්ටම ඉහළ යෑමත් නියඟය, ගංවතුර සහ නාය යෑම් නිතර නිතර සිදුවීමත් මිනිසාගේ පැවැත්මට බලවත් තර්ජනයක්ව  ඇති බවට විද්‍යාත්මක සාක්ෂි අපමණ  නමුත් බොහෝ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. තුන් වැනි ලෝකයේ සංවර්ධනය වන රටවලට බලවත් ම අභියෝගය වන්නේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නිසා පරිසර හානිය ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. ඊට අමතරව ස්වාභාවික වනාන්තර ආශ්‍රයෙන් කෙරෙන දැව කර්මාන්තය ආර්ථික වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. ඇමේසන් වන විනාශය ගැන කෙරෙන විවේචන බ්‍රසීල රජය නො තකන්නේ ඉන් කෙටි කාලීන ව ලැබෙන ආර්ථික පලප‍්‍රයෝජන නිසා ය. ගංගා හරස් කොට වේලි බැඳ ජල විදුලි බලාගාර පිහිටුවීමේ දී සිදු වන පරිසර හානිය බොහෝ රටවල් තකන්නේ නැත.

පුළුල් අර්ථයෙන් බලන විට කාර්මික විප්ලවයේ සිට ඇරඹුණ මිනිස් ක්‍රියාකාරකම් බොහොමයක් පරිසරය නො තකා ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණෙන් සිදු වූ ඒවා ය. ස්වාභාවික සම්පත් සූරා කෑම බොහෝ පුද්ගලයන්ටත් රාජ්‍යයන්ටත් බලය සහ ධනය රැස්කර ගැනීමේ පහසුම මාර්ගයකි. කාර්මිකකරණය සමග ගල් අඟුරු සහ ඛනිජ තෙල් භාවිතය ලෝක ආර්ථිකයේ පදනම විය. ඒ තුළින් රැස් කර ගත් මහා ධනස්කන්ධයෙන් පරිසරයට කිසිසේත් ඔරොත්තු නො දෙන ආකාරයේ ජීවන රටා ද බිහි විය.  

පරිසරය අසීමිත ලෙස සූරා කෑමෙන් මිහිතලයේ පැවති සමබරතාවයි නැතිව ගොස් දේශගුණයේ සිදුවන සීමාන්තික වෙනස්කම්වලට වැඩි වශයෙන් ම සමාජයේ පහළ ස්ථරවලට අයත් ජන කොටස් ලක් වුවද වරප්‍රසාදිත අයට හෝ ඉන් ගැලවීමක් නැත. ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවන විනාශය සියලුම මානව වර්ගයාට  පොදු ය. පරිසර විනාශය වැළැක්වීමට ලොව සියලු රටවල් සහ මානව වර්ගයා එක්සත් විය යුත්තේ එම නිසා ය.

දේශගුණික විපර්යාසයට මූලික හේතුවක් වන වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීමට ඉන්ධන භාවිතය සීමා කිරීම හෝ එවැනි හානියක් නොවන පිරිසිදු බලශක්තිය (Clean Energy )  යොදා ගැනීම ප්‍රමාණවත් වන්නේ නැත. මූලික කාරණය වන්නේ එවැනි විමෝචනය සිදුවීමට හේතු වූ අපේ ජීවන රටාවන් ද වෙනස් විය යුතුය. සරලව ඉන්ධන භාවිතය වැඩිවිමට තුඩු දුන් ජීවන රටාව වෙනස් කිරීමය. ඒ සඳහා දැඩි කැපවීමක් අවශ්‍ය ය. අවාසනාවකට මෙන් දේශගුණික විපර්යාසය ගැන කතා කරන බොහෝ දෙනකු තුළ එවැනි කැප කිරීමට සූදානමක් නැත. එමනිසා කෙතරම් සාකච්ඡා සම්මන්ත්‍රණ සහ ගිවිසුම් ඇති කර ගන්නා නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැත.

ගණන් බලා ඇති ආකාරයට ලෝකය උණුසුම් වීම පූර්ව කාර්මික යුගයේ මට්ටමෙන් සෙල්සියස් අංශක 1.5ක පවත්වා ගැනීමට ගල් අඟුරු සංචිත සියයට 89ක් සංරක්ෂණය කළ යුතුය. ඛනිජ තෙල් සංචිත සියයට 58ක් ද, ෆොසිල මීතේන් (ස්වභාවික ගෑස්) සංචිත සියයට 59ක් ද සංරක්ෂණය කළ යුතුය. එහෙත් එම සම්පත් හිමි රටවල් සියල්ලක් ම උත්සාහ කරන්නේ වැඩියෙන් ම කැනීම් කර වෙළඳ පොළට ඉදිරිපත් කර වැඩි වැඩියෙන් ලාභ ලැබීම ය. මෙම සම්මේලනය පැවැත් වූ එක්සත් රාජධානිය මෙම වසරේ දී මුහුදු පත්ලේ තෙල් කැනීම් සඳහා බලපත‍්‍ර 113ක් අලුතින් නිකුත් කර ඇත. ජෝ බයිඩන් ජනාධිපති තනතුරට පත් වූ විගස රජය සතු ඉඩම්වල තෙල් සහ ගෑස් කැනීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම නතර කළ ද තෙල් සමාගම්වල බලපෑම නිසා එම තහනම ඉවත් කර ගැනීමට සිදු විය. ලොව අනෙක් කාර්මික රටවල ද දක්නට ලැබෙන්නේ එවැනි ම ප‍්‍රවනතාවයකි.

පරිසර දූෂණය ගැන මහත් උනන්දුවෙන් කතා කරන නමුත් ඒ පිළිබඳ ව රාජ්‍ය නායකයන් සහ සංවේදී යැයි කියන ව්‍යාපාරික ප‍්‍රජාව තුළ කිසිම කැපවීමක් නැති බවට හොඳම නිදර්ශනය ඔවුන් මෙම සමුළුවට සහභාගවීීමට පැමිණි ආකාරයයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැමිණියේ සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ආකාරයට ඉන්ධන බොන බොයිං 747 යානයකිනි. ඊට අමතරව සමුළුවට සහභාගිවීීමට ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් පැමිණියේ ඔවුන්ගේ ම පෞද්ගලික ජෙට් ගුවන් යානාවලිනි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ලන්ඩනයේ සිට සමුළුවට ගියේ පෞද්ගලික ජෙට් යානයකිනි. එවැනි යානා 400කට අධික සංඛ්‍යාවක් ග්ලාස්ගෝ අවට ගුවන් තොටුපොළවල රඳවා ඇති බව වාර්තා විය. ඔවුන්ගේ ජීවන රටාව තුළින් සිදු වන්නේ ද මහත් පරිසර දූෂණයකි.

මෙම සමුළුවට සමගාමීව ඔක්ස්ෆැම් ආයතනය නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වන ගාඩියන් පුවත් පත පරිසර දූෂණයට වැඩියෙන් ම සාධක වන්නේ ප‍්‍රකෝටිපතියන්ගේ ජීවන රටාව බව පෙන්වා දේ. ඔක්ස්ෆැම් වාර්තාව අනුව ලොව ධනවත් ම සියයට 20 ජීවන රටාව අනුව 2030 වන විට වායුගෝලයට මුදා හරින සමස්ත කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණයෙන් සියයට 16කි. එම එක පුද්ගලයෙකු දැනට වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 70ක් නිකුත් කරන නමුත් ලොව දුප්පත් ම සියයට 50 ට අයත් එක පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාම නිකුත් වන්නේ ටොන් එකක් වැනි ප්‍රමාණයකි. ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ගේ ජීවන රටාවට තවත් නිදසුනක් වන්නේ ඔවුන් අතර අභ්‍යාවකාශ තරණයට ඇති තරගය යි. ලොව ඉහළම ප‍්‍රකෝටිපතියා ලෙස හැඳින්වෙන ජෙෆ් බෙසෝ පසුගියදා අභ්‍යාවකාශය ආසන්නයට විශේෂිත ගුවන් යානයකින් ගිය අතර එම ගමනේ දි නිකුත් වූ කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ටොන් 75 කි. ඔහු ද ග්ලාස්ගෝ නගරයේ පැවති පරිසර සමුළුවට සහභාගි වූ ප‍්‍රකෝටිපතියෙකි.

සමුළුවට සහභාගි වූ බොහෝ දෙනකු පුදුමයට පත් වූයේ ඉන්දියානු ඇගමැති නරේන්ද්‍ර මෝදි 2070 දී ඉන්දියාවෙන් සිදුවන විමෝචනය ශුන්‍ය බවට පත් කිරීමට දුන් පොරොන්දුවෙනි. මෙම ඉලක්කය යුරෝපා සංගමය ඉලක්ක කර ගෙන ඇති කාලයට වඩා දශක දෙකක් ද චීනය ඉලක්ක කර ඇති කාලයට වඩා වසර දහයක් ද වැඩිය. අනෙක් අතට මෙම සමුළුවට සහභාගි වීමට පෙර ඉන්දියාවේ ස්ථාවරය වූයේ ඛනිජ තෙල් භාවිතය අත් හැරීමට නම් ඉන්දියාවට න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා දිය යුතුය යන්නයි. එම ස්ථාවරය වෙනස් කර ඇත්ද යන්න ගැන ඉන්දියානු රජය ප්‍රකාශයක් කර නැත.

මෙම සමුළුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පරිසරය සුරැකීමේ සහ වන ආවරණය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය දක්වා තමන් ඒ වෙනුවෙන් කැප වන බවද ප්‍රකාශ කෙළේය. එම ප්‍රකාශය ද ලොව වෙනත් නායකයන්ගේ ප්‍රකාශ වලින් වෙනස් වන්නේ නැත. ලෝක ආහාර සංවිධානයේ වාර්තාවක සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව ලොව වන ආවරණය විනාශ කරන නරකම රටවල් අතර සිව්වැනි ස්ථානයේ සිටී. 2017 දී ශ්‍රී ලංකාවේ වන ආවරණය භූමි ප්‍රමාණයෙන් සියයට 29.7ක් වු අතර වන ආවරණය වසරකට සියයට 1.43ක වේගයෙන් පහත වැටෙමින් ඇත. ගෝලීය වන ආරක්ෂක සංවිධානය උපුටා දක්වන වාර්තාවක සඳහන් වන ආකාරයට ශ‍්‍රී ලංකාවේ දිනකට අක්කර 63ක වන ආවරණයක් විනාශ කෙරේ. සිංහරාජ ස්වාභාවික වනාන්තරයට සිදු කරන හානිය ගැන පරිසරවේදීන් හඬ නගන විට එහි සංචාරයක යෙදුණ ජනාධිපති රාජපක්ෂ මහතා එහි සිදු කරන ඉදිකිරීම් නිසා පරිසරයට කිසිදු හානියක් නොවන්නේයැයි පරිසරවේදීන්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කෙළේය. ඔහුගේ අධීක්ෂණය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය මුතුරාජවෙල තෙත් බිම් කලාපයක් පවරා ගැනීමට සූදානම් වීම නිසා ඉන් පීඩාවට පත්වන ප්‍රජාවට අධිකරණයේ පිහිට පැතීමට සිදු විය.

ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ලොව අතලොස්සක් වන වරප්‍රසාදිත ජන කොටස වෙනුවෙන් ස්වාභාවික සම්පත් සූරා කන ආකාරයට ම පරිසර සංරක්ෂණය නාමයෙන් ද සිදු වන්නේ හානියකි. ඒ සියල්ල පරිසරයට කිසි සේත් හිතකර නොවන හා විනාශකාරී ජීවන රටාවක් පවත්වා ගැනීමට යොදා ගනී. එම නිසා පරිසරයත් මානව වර්ගයාත් රැක ගැනීමට කළ යුතු එකම සහ අනිවාර්ය කාරණය වන්නේ මෙම ජීවන රටාව සහ ඊට පසුබිම් වන ආර්ථික ක්‍රියාදාමය වෙනස් කිරීම ය. ඒ සඳහා මුලපිරීම වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ දෙබිඩි චරිත හෙළිදරව් කිරීම සහ විකල්ප මාවතක් හෙළිපෙහෙලි කර ගැනිම ය. 

Mahinda Hattaka

Mahinda Hattaka

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *