අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි.

Wijayananda Jayaweera සිය මුහුණත් පිටුවේ තබන ලද සටහනකි

අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්ජාතර දිනයයි. වසර පහකට පෙර තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව පොදු අධිකාරි සතුව ඇති ඕනෑම තොරතුරක් “2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ” නියම කරන ලද ආකාරයට ලබා ගැනීමේ අයිතිය අපට තිබේ. එහෙත් මේ නීතිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ පොදු අධිකාරි විසින් එසේ ඉල්ලන තොරතුරු නිසි පරිදි ලබාදෙන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින තොරතුරු කොමිසමේ කල්කිරියාව හා ස්වාධීනත්වය අනුවය. මෙතෙක් ඒ කටයුත්ත සතුටුදායකව ඉටු කෙරුණේ කොමිසමට පත්ව සිටි සාමාජිකයන් පස්දෙනා සිය කටයුතු වෘත්තීය ස්වාධීනත්වයකින් හා අදීන බවකින් යුතුව ඉටු කළ බැවිනි. එහෙත් ඔවුන්ගේ පස්වසරක සේවා කාලය මේ මස අගදී නිමාවට පත්වේ. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කොමිසම පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. එසේ වුවද පනත අනුව ඒ සඳහා සුදුසු පුද්ගලයන් යෝජනා කිරීමේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය එක් අයෙකුද ප්‍රකාශකයකවරුන්ගේ, කතෘවරුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ සංවිධාන විසින් එක් අයෙකුද සිවිල් සංවිධාන විසින් එක් අයෙකුද බැගින් නිර්දේශ කළ යුතුය. පනත අනුව අනුග්‍රාහක අමාත්‍යවරයා ජනමාධ්‍ය ඇමතිවරයා බැවින් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීම ඔහුගේද වගකීමකි.

වැඩි දෙනෙකුගේ අවධානයට යෙමුවී නැති වැදගත් විධිවිධානයක් තොරතුරු පනතේ 35 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි. “යම්තැනැත්තෙකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක් ලබාදෙන යම් පොදු අධිකාරියක සෑම නිලධරයෙකුම, අදාළ තැනැත්තා විසින් තත්කාර්ය සඳහා කරනු ලබන ඉල්ලීමකදී එම තීරණයට එළඹීම සඳහා හේතු එම තැනැත්තාට ලිඛිතව හෙළිදරව් කළ යුතුය”. මේ අනුව ඔබට කරන කැඳවීම් ඇතුලු ඔබට බලපාන ඕනෑම තීරණයක් සඳහා ඔබ ඉල්ලා සිටින්නේනම් ලිඛිතව හේතු දැක්වීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටී.

ඉන්දියාවේ තොරතුරු නීතිය හා සසඳන විට ලංකාවේ තොරතුරු නීතිය රාජ්‍ය ආයතන ප්‍රගාමී ලෙස ස්වෙච්ඡාවෙන් තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රබල නැත. එහෙත් ඒ අඩුපාඩු කිසියම් දුරකට මගහරවා ගැනීමට තොරතුරු නීතිය යටතේ ගැසට් කර ඇති රෙගුලාසි වලට හැකිව තිබේ. එසේ වුවද බොහෝ රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශ නොකරන බවත් ප්‍රකාශ කළ තොරතුර පවා කලට වේලාවට යාවත්කාලීන නොකරන බවත් පෙනේ. රාජ්‍ය ආයතන කළ යුත්තේ තොරතුරක් ඉල්ලන තෙක් බලා ඉන්නවාට වඩා ප්‍රගාමීව කල් තියා තොරතුරු අනාවරණය කිරීමයි. රාජ්‍ය ආයතනයක වෙබ් අඩවියකින් නිරූපණය වන ප්‍රගාමී තොරතුරු අනාවරණයේ ස්වභාවය එම ආයතනයේ කාර්යක්ෂමතාවය පිලිබඳ දර්ශකයකි

ප්‍රාගාමී තොරතුරු අනාවරණය ප්‍රවර්ධනය කිරීම පිණිස 2019 මුල් කාර්තුවේදී තොරතුරු කොමිසම හා සාකච්ඡාකොට මවිසින් කැබිනට් පත්‍රිකා කෙටුම්පතක් පිළියෙළ කරන ලද්දේ මහජන ආයතන සතු තොරතුරු ප්‍රගාමී ලෙස අනාවරණය කිරීම දිරිගැන්වීම අරමුණුකරගත් ලෝක බැංකු ව්‍යාපෘතියක් වෙනුවෙනි. පසුව එම ලේඛනය ඒ සඳහා පැවැති UNDP ව්‍යාපෘතියක් සඳහා ද යොදා ගැනිණි. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ජනමාධ්‍ය අමාත්‍යාංශය සිරිසේන ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමෙන් පසු එහි ප්‍රගතිය ගැන දැන ගැනීමට මට නොහැකි විය. පහත සඳහන් දිගුවෙන් දැක්වෙන්නේ ඒ ගැන ලියූ ලිපියකි.

ප්‍රගාමී  තොරතුරු අනාවරණය: තොරතුරු අයිතිය පිළිබඳ ඉටු නොවූ වගකීම

විජයානන්ද ජයවීර

අදාල ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *