නිදහස් දින ජනපතිවරයා ප්‍රකාශයට පත්කළ සියලු අභියෝග ජය ගැනීමේ මාවත කුමක්ද?


ප්‍රියන්ත සිල්වා විසිනි


ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අන්දම අතිශයින්ම පැහැදිලිය. මෙම අගතිය යටපත් කරමින් ඉදිරියට පිවිසීම වත්මනෙහි ජයගැනීමට ඇති තීරණාත්මක අභියෝගයයි. ජනපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශනයෙන්ද මෙය විශේෂ අවදානයට ලක් කෙරුණි. 

                විදේශ වෙළඳපොළ අරමුණු කරගත් නිෂ්පාදන කර්මාන්ත අහිමි, විදේශ අපනයන අවම අප වැනි ආර්ථිකයක, විදේශ විනිමය හිඟය බරපතල ආර්ථික අවපාතයකට තුඩු දෙන්නකි. දේශීය පරිභෝජනය සපුරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ නිෂ්පාදනය නොකරන තත්ත්වයකදී මෙහි ස්වරූපය වඩාත් අනතුරුදායකය. එළවලු සහ පලතුරු අපනයනයේ ඉහලයාමක් සිදුව ඇතැයි පැවසුනද, මෙම වසර ආරම්භයේදී දේශීය පළතුරු හා එළවලු අපනයන ආදායම 24% කින් පහත වැටී ඇත.
               ආනයන වියදම් කපා හැරිය යුතුයැයි රජය කියා සිටියද, පළතුරු ආනයනය සඳහා විශාල මුදලක් පසුගිය වසරේ වැයකර ඇති බව මාධ්‍ය කියයි. 2020 වසරේදී දේශීය සහල් පරිභෝජන අවශ්‍යතාවය සපුරාලීමට තරම් ප්‍රමාණවත් සහල් දේශීයව නිෂ්පාදනය කළද, විදේශයන්ගෙන් සහල් ගෙන්වීම පිළිබඳ විවේචන මතුවිය.
             මෙම වසරේ ගෙවීමට ඇති ණය ඩොලර් බිලියන 6.5 කට ආසන්නය. ඉන් බිලියනයක් වසරේ ජූනි මාසය වන විට ගෙවීමට නියමිතය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරිමේ ‘පීච් ආයතනය’ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව c c ශ්‍රේණියේ සිට c c c ශ්‍රේණිය දක්වා පහත හෙළා ඇත. මේ අතර ආපසු හරවා යැවූ චීන පොහොර නැවට වන්දි වශයෙන් අදාල පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවිය. මෙම තත්ත්වය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම හා මිල ඉහල යාමට පමණක් සීමා නොවී විදුලි කප්පාදුවකට හා ඉන්දන මිල ඉහලයාමේ ප්‍රවේශ මාර්ගයද විවර කරයි.
                මෙම අභාග්‍යයෙන් මිදීම සඳහා ඉදිරියට ගෙන ඇති උපායන් කොතරම් ඵලදායිද යන්න සැක සහිතය. පසුගිය වසර අවසන් වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා වර්ධනය කරන බව මහා බැංකු අධිපතිවරයා මහත් අභිමානයෙන් ප්‍රකාශ කළේය. හරියටම වසර අවසානයේ චීනයෙන් ලැබුනු ඩොලර් බිලියන 1.5 ක අගයට සමාන වන යුආන් මුදල් අගය පැවති ඩොලර් සංචිතය වූ බිලියන 1.6 ට එකතුකර, මාධ්‍ය ඉදිරියේ විශ්මය ජනක පෙළහර පෑවේය. නමුත් එම මුදල් වැයකිරීමේදී පවත්නා සීමාකම් ප්‍රකාශ නොකිරීමට ඔහු ප්‍රවේශම් විය. 
           ඉන්දියාවෙන් හා චීනයෙන් ලැබෙන විනිමය හුවමාරු පහසුකම්, පවත්නා අර්බුදයට තවත් පිළියමක් ලෙස හඳුන්වා දේ. චීනයෙන් ලැබීමට නියමිත මෙට්‍රික් ටොන් දස ලක්ෂයේ සහල් තොගය දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිලාභයක් ලෙස සැළකිය හැකි නොවේ. මින් විදේශ සංචිතවල ප්‍රමාණාත්මක ප්‍රසාරණයක් සිදුවෙතැයි සිතිය නොහැක. මේ අතර ජනපතිවරයා චීනයෙන් ලබාගත් ණය ගෙවීම සඳහා කල් ලබාගැනීමේ ප්‍රවේශයක් සකස්කර ගැනීමට යොමුවී සිටී. මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින්ගෙන් ලබාගන්නා මුදල් විදේශ විනිමයෙන්ම ලබාගැනීමට රෙගුලාසි ඉදිරිපත්වී ඇත. මෙය කොතෙක් දුරට ප්‍රායෝගිකද යන්න විමසිල්ලට ලක්වේ.
              ආර්ථිකයේ පවත්නා දීර්ඝ කාලීන ගෙවුම්ශේෂ හිඟයටත් වර්ධනය වන උද්ධමනකාරිත්වයටත් ඍජු පිළියම් මෙම ප්‍රතිමානයන් තුල පවතීද යන්න අපැහැදිලිය. දැනට විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රතිශතයක් යොමුකර ඇත්තේ ප්‍රවාහණ,රක්ෂණ හා වෙනත් සේවා වැඩි දියුණු කිරීම සඳහා වන අතර විදේශ සංචිත ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් මින් නොලැබෙන බව පැහැදිලිය. 2021 නොවැම්බර් මස ඩොලර් මිලියන 382 ක් වූ මෙරට රන් සංචිත වටිනාකම මේවන විට ඩොලර් මිලියන 175 දක්වා අඩුවී ඇත. පසුගිය දෙසැම්බර් මස එම සංචිතවලින් 54%ක ප්‍රමාණයක් විකුණා දැමීමට මහා බැංකුව කටයුතු කර තිබේ. විදේශ වෙළඳ පොලේ රන් මිල පහල යමින් පැවතියදී මෙවැනි ගනු දෙනු සිදුකිරීම ගැන විවේචන මතු වේ.  
              මේ රජය බලයට පත්වී දෙවසරක් පසුකරන අවස්ථාවකදී ජනපතිවරයා අවධාරණයට ලක්කරන’අභියෝග ජය ගැනීමේ ක්‍රියාන්විතය’කුමක්ද? පසුගිය දිනවල විවාදාත්මක මාතෘකාවක් වූ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ දෙසට නැවත හැරීමේ ඇඟවීම මෙහි සැගවී තිබේද යන්න ගැන මෙරට ජනයා විමසිලිමත් වෙති. 

ප්‍රියන්ත සිල්වා.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *