අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!


අධිකරණ ඇමති

2022 පෙබරවාරි මස 01 වන දින.
ජාතික කම්කරු උපදේශක සභා වෘත්තීය සමිති ඒකාබද්ධ නිවේදනය


අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!

මේ රට ඉදිරියට ගෙන යාමට යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පසුගිය 27 වන දින, විද්‍යුත් මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදී විසඳුම් වශයෙන් යෝජනා කෙරුවේ මූලික සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමට ය.
ඔහුගේ නිර්ලජ්ජී යෝජනාව වූයේ වරාය, තෙල් සංස්ථාව, විදුලිය, ජල සැපයුම් හා වෛද්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන අයිතිය නීත්‍යානුකූලව අහෝසි කිරීමය. එය ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම වඩා උචිත යැයි ඔහු කීවේය. පොලීසියට හා හමුදාවට ඒ අයිතිවාසිකම් නොමැති බැව් ඔහු කීවේ, ඔහුගේ යෝජනාවට හේතු වශයෙනි. එසේ නොකරන්නේ නම්, ඔහුගේ විකල්පය වන්නේ වර්ජනයක් ඇතිවිට එම අංශවල සේවය කිරීමට හැකි පුහුණුවක් හා නිපුණතාවක් ඇති ක්ෂණික විහිදුම් බලකායක් සූදානම් කර තබා ගැනීම ය.

මිනිසුන් අමාරුවේ දමමින් එළෙස වර්ජනය කිරීම අසාධාරණ යැයි කියූ ඔහු ඒවා පිටුපස කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ තිබිය හැකි යැයි ද කීවේය. ඔහු එසේ කුමන්ත්‍රණ ගැන පවසන ලද්දේ පසුගිය දිනවල වරාය, ඉන්ධන හා විදුලිබල මණ්ඩලය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සිහි තබා ගෙන විය හැකිය. ඒ සමග ජනතාව මෙවර බලාපොරොත්තු වූයේ වඩා ශක්තිමත් ජනාධිපතිවරයෙකු බවත් වත්මන් ජනාධිපති එනිසා මීට වඩා අධිකාරවාදී විය යුතු යැයිද ඇමතිවරයා පැවසුවේය.

ආණ්ඩු පාලනයේ කිසිදු එල්ලයක් නොමැති විට, හරියාකාර සැළසුම් හා ඉලක්ක ඇතිව රාජ්‍ය සේවා පවත්වා ගෙන යාමට නොහැකි වනවිට, මතුවන ජාතික ආර්ථිකය හා ජන ජිවිතයට අදාල ගැටළු සඳහා සාධාරණ නිසි විසඳුම් ඉදිරිපත් කරන්නටද හැකියාවක් නොමැති විට, බලහත්කාර විධායකයක් සමගින් ආණ්ඩු ගැට ගසා ගැනීමට මාන බැලීම, අධිකරණ ඇමතිවරයාගේ අලුත් සොයා ගැනීමක් නොවන බව අපි දනිමු. එනමුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරන, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශ අහුරා දමන පාලනයක් වෙනුවෙන් නීති හැදීම මේ ආණ්ඩුවේ “සෞභාග්‍යයේ දැක්මට” ඇතුළත් නැති බව අධිකරණ ඇමති සබ්රි මහතාට කියා දිය යුතුය.

වැඩ වර්ජනය කිරීමේ අයිතිය හා සාමුහිකව කේවල් කිරීමේ අයිතිය විශ්ව අයිතීන් ය. ඒවා සුරැකීමට අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් නොව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 සම්මුතීන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයෙන්ද අපි රටක් වශයෙන් බැඳී සිටිමු. එවගේම මූලික අයීතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම හේතුවෙන් අහිමි කෙරුණු යුරෝපා “ජී.එස්.පී අධි සහන” නැවත 2017 දී අප ලබා ගනු ලැබුවේ ඒ සියල්ල ආරක්ෂාකර ශක්තිමත් කිරීමට යුරෝපා සංගමය හා ගිවිස ගැනීමෙනි.

එනිසා අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනා හුදෙක් රාජ්‍ය සේවාවන් පමණක් ඉලක්ක කෙරුණු යෝජනාවන් නොවන බව අපි අවධාරණයෙන් යුතුව කියමු. රටේ ජනතාවගේ ජීවන ප්‍රශ්න විසඳීමේ හැකියාවක්, සැළසුමක් නොමැති විට සේවක අයිතිවාසිකම් අහෝසි කිරීම ආරම්භ කෙරෙන්නේ ඒවාට අදාල වන රාජ්‍ය සේවාවන්ට අදාලව ය. ඇමතිවරයා නම් කළ සේවා ක්ෂේත්‍ර ගත් විට එය ඉතාම හොඳින් පැහැදිලි වන්නකි. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට හා ජනතාවට ජීවත්වීමේ තම මූලික අයිතිය වෙනුවෙන් විසඳුම් ඉල්ලීමට බලකෙරෙන විට, සංවිධානයවීමේ හා ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ සාමුහික අයිතීන් අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගැනීමේ මෙය ආරම්භයක් පමණක් වනු ඇත.

ඡන්දයෙන් පත් නොවුනු මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාවට වග නොකීවාට, ආණ්ඩුව පත්කරනු ලැබු පසු ආණ්ඩුවේ මුලික හා ප්‍රධාන වගකීම වන්නේ 69 ලක්ෂයක් වෙනුවෙන් තීන්දු ගැනීම නොව, මේ රටේ මිලියන 22 ක ජනතාවගේ ජීවත්වීමේ ගැටළු විසඳීමට බැව් අපි ඇමතිවරයාට මතක් කර සිටිමු. එනිසා දිනපතා පැයෙන් පැය බිඳ වැටෙන රටේ ආර්ථික හා සමාජීය පැවැත්ම වෙනුවෙන් වහා ජාතික සැළසුමක් ඉදිරිපත් නොකර, ඒ වෙනුවට ප්‍රජාන්ත්‍රවාදී සමාජයක සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආත්ම ගරුත්වයක් තිබේ නම් ජනතාවගෙන් සමාව ගන්නා මෙන් අපි ඇමතිවරයාට කියමු.

එවගේම, ඇමතිවරයාගේ නිර්ලජ්ජී යෝජනා වහා ඉල්ලා අස්කර ගන්නා මෙන් බල කිරීමේ එක්සත් ඉල්ලීමක් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු වෘත්තීය සමිති පොදු විරෝධයකට එකතු විය යුතු යැයි අපි ඉල්ලීමක් කරමු.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
අන්තර් සමාගම් සේවක සංගමය
ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
ලංකා වෘත්තීය සමිති සම්මේලනය
නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා
ලංකා වතු සේවා සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
ලංකා බැංකු සේවක සංගමය
ජාතික සේවක සංගමය
ලංකා ජාතික වතු කම්කරු සංගමය
නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය

ස්තූතියි.
මෙයට විශ්වාසී
ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන
ඉහත වෘත්තීය සංගම් වෙනුවෙන්

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *