කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

ජගත් ගුණවර්ධන විසිනි

මේ දිනවල චීනයේ කුන්මින් (Kunming) නගරයේ පවත්වනු ලබන ජෛව විවිදත්ව ප්‍රඥප්තියේ පාර්ශ්වයහි පහලොස්වන සමුලුවේදී (15th Conference of Parties)(COP-15) ඊට පාර්ශ්වයන් වන රටවල් විසින් මීට දෙදිනකට පෙර​,එනම්,ඔක්තෝම්බර් මස 13 දින ලොවේ ජෛව විවිධත්වය ආරක්ශා කිරීමට ප්‍රතිඥා දෙමින් පොදු ප්‍රකාශනයක් සම්මත කර ගන්නා ලදී.මෙම සමුලුව පවත්වන කුන්මින් නගරය වෙනුවෙන් එය “කුන්මින් ප්‍රකාශනය​ (Kunming Declaration)” ලෙස නම්කර තිබේ.ලොවේ රටවල් 195ක් ජෛව විවිධත්ව ප්‍රඥප්තියට (Convention on Biological Diversity)(CBD)අත්සන් තබා බලාත්මක කර තිබෙන නිසා (හෙවත් ප්‍රඥප්තියේ පාර්ශවයන් (parties) නිසා) එය මෙම රටවල්වල නියෝජිතයන් සියල්ලගේම අනුමැතියෙන් හෙවත් පාර්ශ්වයන් විසින් අනුමත කර තිබේ.ශ්‍රී ලංකාවද මෙම ජෛව විවිධත්ව ප්‍රඥප්තියයේ පාර්ශ්ව රටක් වේ.

මෙම ප්‍රකාශනය මඟින් මීලඟ දශකය තුල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදිටන් කරගත් ඉලක්කයන් 17ක් දක්වා තිබේ.මෙහි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ තීරක ක්‍රියාවලියට ජෛව විවිධත්ව සංරක්ශනය සහ තිරසර භාවිතයන් ඇතුලත් කර ගැනීම සහ වර්තමානයේ සිදුවන ජෛව විවිධත්ව විනාශය නතර කිරීමට සහ වර්තමාන හානිය ප්‍රතිපූරනයට අවශ්‍ය පියවර ගැනීමටත් වේ.

එසේම 2020 ජෛව විවිධත්ව රාමුව ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමටත්,ජෛව සුරක්ශිතතාවය පිලිඹඳ කාටජිනා සන්ධානය බලාත්මක කිරීමත් ඒ අතර වේ.

මීට පෙර​,එනම්,2010දී ජපානයේ අයිචි (Aichi)නගරයේ රැස්වූ පාර්ශ්වයන් විසින් සම්මත කරගත් අයිචි ඉලක්කයන් (Aichi Targets) කිසිවකුත් දශකයකට පසු සාර්ථකව ක්‍රියාත්මක කර නොමැති පසුතලයකදී මෙම “කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග​” අනුගමනය කිරීමට ගන්නා කැපවීම ප්‍රශ්නගත වේ.මෙම කුන්මින් ප්‍රකාශනයටද පදනම් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයාචනයක් වන 2030 වනවිට රටක භූමි ප්‍රමානයන් 30%ක් ආරක්ශාකර සංරක්ශනය කිරීමේ ඉලක්කයද (30 by 30)කෙසේ සපුරා ලන්නේද යන්න තව ඉතා අපැහැදිලි තත්වයකි.

නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිරි ස්වභාවික පරිසර පද්ධතීන් මෙයාකාරයන් සංරක්සනය කිරීමේ තැතක් වෙනුවට තිබෙන්නේ මේ වන විටත් තිබෙන ආරක්ශිත පරිසර පද්ධතීන් විනාශ කිරීමේ පසුබිමකි.නිදසුනක් ලෙස පසුගිය වසරේදී වෙනත් රජයේ වනාන්තර පිලිඹඳව නිකුත් කල 01/2020 සහ 02/2021 චක්‍රලේඛ දෙකම එම අවශේශ වනාන්තර සංරක්ශනය පිනිස නොව ඒවායේ ඉඩම් බෙදා ගැනීමට අදාල වීම එක් නිදසුනකි.
එසේම මෙම  පාර්ශ්වයන් අතර කුන්මින් සමුලුව ආරඹ්හ වුනු ඔක්තෝම්බර් මස 11 දිනම නිකුත් කරන ලද 2021.10.11 දිනැති අංක 2249/04 දරන අති විශේශ ගැසට් පත්‍රයේ පලකරන ලද නියමයක් මඟින් බෝගහපැලැස්ස රක්ශිත වනාන්තරය තවදුරටත් ආරක්ශිත ප්‍රදේශයක් නොවන බව ප්‍රකාශයට පත්කර තිබේ.එසේ කර තිබෙන්නේ බෝගහපැලැස්ස රක්ශිතය ප්‍රකාශයට පත්කරමින් 201308.22 දිනැති අංක 1824/20 දරන අති විශේශ ගැසට් පත්‍රයේ පලකරන ලද නියමය අහෝසි කිරීම මඟිනි.මේ නිසා මෙතෙක් බෝගහපැලැස්ස රක්ශිත වනයේ පැවති  ඉඩම් සියල්ල වෙනත් රජයේ වනාන්තරයක තත්වය හිමිකර ගනී.මෙය සංරක්ශනයට නොව ඉඩම් බදා ගැනීමට අවශ්‍යවන පසුබිමක් නිර්මානය කිරීමකි.

කුන්මින් ප්‍රකාශනයට එකඟ වූ පමනින් එහි පරිදි ශ්‍රී ලංකාවේ ඉතිරි වී තිබෙන ජෛව විවිධත්වය ආරක්ශාකිරීමට “කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග” ගනු ඇති බවට විශ්වාස කිරීමට නොහැක්කේ මේ නිසාය​.මෙම ප්‍රතිඥාවත් අයිචි ඉලක්කයන් මෙන්ම කලකදී අමතක කර දමමින් සුපුරුදු ලෙස ක්‍රියාකිරීමට ඉඩ තිබේ.

මේ නිසා පරිසරය ආරක්ශා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන අප සැම දෙනාම​,සමාජයේ ඇතඇම් කොටස් වලින් එල්ලවන පරිභව සහ අපහාසයන් නොතකමින් මෙරට ඉතිරි ජෛව විවිධත්වය ආරක්ශාකර ගැනීමට ගෙනයන සියලු ක්‍රියාමාර්ගයන් එලෙසින්ම පවත්වා ගත යුතු බව සහ ඊට “කුන්මින් ප්‍රකාශනය​” ශක්තියක් කරගත යුතු බවත් සිතන්නෙමු.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *