කෙටි, ස්ථූල ශරීරයක් සහිත බත්කූරන්…

Elusive Adjutant (Aethriamanata brevipennis)–Male


කෙටි,ස්ථූල ශරීරයක් සහිත වීම නිසා අනෙකුත් සියලු බත්කූරන්ට වඩා වෙනස් ශරීර හැඩයෙන් මේ විශේශය හඳුනාගත හැක​. මේ විශේශයේ උදරය කෙටි,පලල් සහ පාර්ශ්විකව සම්පීඩනය වී තිබේ. මෙම ලාක්ශනික උදර හැඩය සහ සාපේක්ශව කෙටි සහ ස්ථූල ස්වරූපය​ නිසා මෙම විශේශය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිවේ.

පිරිමි සතාගේ හිස සහ උරස කලු පාටින් යුතුය​. පියාපත්වල මුල කොටසේ දුඹුරු පාට පැල්ලමක්ද තිබේ. උදරය සම්පූර්නයෙන්ම දීප්තිමත් තද රතු පාටින් යුතු අතර ඒ දීප්තිමත් තද රතු නිසා මෙන්ම ඊට යාබදව තිබෙන​ කලු පාට හිස සහ උදරයත් නිසා ඉතා ප්‍රකටව දිස්වේ. මේ විශේශයේ තිබෙන තවත් විශේශිත ලක්ශනයක් වන්නේ පසු පාදවල ඉහලින් තිබෙන​  සන්ධියේ පිටුපස කොටසේ ඉතා හොඳින් දිස්වෙන​ දීප්තිමත් රතු පාට සලකුනක් තිබීමයි.මෙම ඡායාරෑපයේ සිටින්නේ පිරිමි සතෙකි.

බොහෝ කලක් වාර්තා නොමැති වීම නිසා 1990′ දශකය අගභාගයේදී මේ විශේශය මෙරට ඔඩොනේටා නාමාවලියෙන් ඉවත් කිරීමට පවා යෝජනා වී තිබුනත්, පසු කලකදී දුටු වාර්තා විශාල වශයෙන් ලැබීම නිසා මේ වන විට සුලභ විශේශයක තත්වය හිමි කරගෙන තිබේ.
කොලඹ අවට තිබෙන තෙත් බිම් පරිසර සහිත නුගේගොඩ​, කෝට්ටේ, මාදිවෙල​, තලවතුගොඩ සහ තලංගම තෙත්බිම් වලින් පවා හමුවන මේ විශේශයේද නිතර හමු වන්නේ පිරිමි සතුන්වය.

ගැහැනු සතා හැඩයෙන් සමාන නමුත් කහ​-දුඹුරු පාටින් යුතුවේ.ගැහැනු සතාගේ වර්න පිලිඹඳව සවිස්තරාත්මක සටහනක් පසුව පල කරන්නෙමි.

මෙම බක්කූරා සිටින්නේ ශරීරය ඉහලට යොමුවන සේ සහ විශේශයෙන්ම උදරය සිරස් ඉරියව්වක පිහිටන ආකාරයෙනි.මේ ඉරියව්වේදී මොවුන් කුලුනක් හෝ ස්ථ්ඹ්හයක (obelisk) ස්වරූපයක් පෙන්වීම මේ ඉරියව්වට​ ස්ථඹ්හ ඉරියව්ව හෙවත් කුලුනු ඉරියව්ව​ (Obelisk pose) යන නාමයන් ලැබීමට හේතුව වී තිබේ.

ඇතැම් බත්කූරන් විශේශ මෙම ස්ථඹ්හ ඉරියව්ව ලබා ගැනීම සිදු කරන්නේ තදින් සූර්‍යාලෝකය සහිත ස්ථානවලදී පමනකි. මෙයට විශේශිත කාරනාවක් තිබේ. එනම්, සියලු ඔඩොනාටාවන් චලතාපී සතුන් වන බැවින් ඔවුන් සක්‍රිය වීමට පරිසරය උනුසුම් විය යුතුවේ. එසේ නමුත්,​අනිත් අතට මොවුන්ට සූර්‍යාලෝකය අධික ලෙස​ පතිතවීම මගින් තම ශරීර පමනට වඩා උනුසුම්වීමේ ගැටලුවට මුහුන පෑමටත් සිදුවේ. මෙය වඩාත් බලපාන්නේ බොහෝ වේලා වසා සිටිමින් ගොදුරු සොයන විශේෂවලටය​.

මෙම විශේශ දැඩි සූර්‍යාලෝකය තිබෙන අවස්ථාවල තම ශරීර පමනට වඩා උනුසුම්වීම වලක්වා ගැනීම පිනිස විවිධ උපක්‍රම භාවිතා කරති. ශරීරයේ සූර්‍යාලෝකයට නතුවන හෙවත් හිරු එලිය වැටීමට ලැබෙන පෘශ්ථය හැකිතාක් අඩු කර ගැනිම මින් එකකි. මෙහිදී මොවොන් කරන්නේ උදරයේ කෙලවර හිරු දෙසට යොමුවනසේ ශරීරය සකස්කර ගැනීමයි. එහිදී සූර්‍යයාගේ පිහිටීම අනුව බත්කූරාගේ උදරය කොතෙක් සිරස්ව පිහිටවාගනීද යන්න තීරනය වේ.

දවසේ මධ්‍යයනය ආසන්න වේලාවලදී මේ බත්කූරන් මුලුමනින්ම වාගේ සිරස් හෙවත් ඍජුඉරියව්වක් ගනී.

මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ  පිරිමි සතෙකු මධ්‍යයනයේදී  මෙසේ ඉතාමත් සිරස් ඉරියව්වක හෙවත් ඍජු ඉරියව්වක​ (vertical pose) සිටිම අවස්ථාවකි.

 මේ බත්කූරාගේ පසු පාදවල පිටුපස තිබෙන රතු පාටැති සලකුනද ඉතා ප්‍රකටව පෙනෙන්නට තිබේ.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *