එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-) සංවිධානය, ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමේ ලංකා ජනාධිපතිවරයාගේ සැලැස්ම සාදරයෙන් පිළිගනී!

මාධ්‍ය නිවේදනයයි

2021 සැප්තැම්බර් 25

ශ්‍රී ලාංකික ප්‍ර‍වාසිකයන් (විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්) සමඟ සංවාදයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-) සාදරයෙන් පිළිගනී. සැප්තැම්බර් 19 වන දින නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හමුවූ විට ඔහු තරයේ ප්‍ර‍කාශකර සිටියේ “දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කරන” බවයි.

ශ්‍රී ලංකාව විසින් බහුවිධ අභියෝග වලට මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ඒවා ජය ගැනීම සඳහා බහුවිධ ප්‍රවේශයන් අවශ්‍යවී ඇති මොහොතක, ඩයස්පෝරාව සමඟ සබඳතා පැවැත්වීම විශේෂයෙන් වැදගත් වේ.

රටේ සමාජ ආර්ථික ප්‍රගමනය ශක්තිමත් කිරීම සඳහා ඩයස්පෝරා ප්‍රජාව සමඟ ශ්‍රී ලංකා රජය විවෘත, විනිවිදභාවයෙන් සහ අවංකව මැදිහත් වීමට ගන්නාවූ උත්සාහයන්ට සහය දැක්වීමට ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  සූදානම්ය. යුද්ධයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පශ්චාත් යුධ කාලීන ව්‍යාධීයෙන් ගොඩ ඒමට බාධාවකින් තොරව සහ විශාල සහයෝගයක් එම පළාත්වලට අවශ්‍ය වේ. බිම් මට්ටමේ මැදිහත්වීම් තුලින් අප ලබා ඇති අත්දැකීම අනුව, දෙමළ ඩයස්පෝරාවේ බහුතරයක් සංවර්ධන කටයුතු සඳහා සහභාගී වීමට සහ දායක වීමට මෙන්ම අපේ ජනතාවගේ සුභසාධන අවශ්‍යතා සපුරාලීමට උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  දැඩි ලෙස විශ්වාස කරයි.

සියළුම ශ්‍රී ලාංකියන් තැතිගන්වන සුළු පරිමාණයකින් වර්ධනය වෙමින් පවතින  අවිශ්වාසය සහ අනාරක්‍ෂිතභාවය සමනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව දිගු ගමනක් යා යුතුය. වත්මන් රජය විසින් බොහෝ දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයින් අත්තනෝමතික ලෙස තහනම් කිරීම ද අපගේ දැඩි කනස්සල්ලට හේතුවකි. ජනාධිපතිවරයා විසින් දෙමළ ඩයස්පෝරාව සමඟ කටයුතු කිරීමට ගෙන ඇති තීරණය නොසලකා හැරිය නොහැකි හොඳ අවස්ථාවක් වශයෙන් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  විශ්වාස කරන අතර එය නව ආරම්භයක් ලෙස හා ශක්තියක් වශයෙන්ද සැලකිය යුතු වන්නේය. දෙමළ ඩයස්පෝරාව යනු සමජාතීය ස්ථිතියක් නොවන අතර විවිධ මතයන් නියෝජනය කරන බහුවිධ සංවිධාන ජාලයකි.

බලය අවංකව විමධ්‍යගත කිරීම තුළින් පමණක් සාක්ෂාත් කර ගත හැකි, විවිධත්වයේ සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් හා පොදු උනන්දුවක් ඇතිව ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  සියළුම ඩයස්පෝරා සංවිධාන වලින් ඉල්ලා සිටී.

දිගු කාලීන රැඳවියන් සඳහා ජනාධිපති සමාව ලබා දීම, යුද්ධයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම, යුද්ධයේදී ලබා ගත් ඉඩම් නැවත අයිතිකරුවන්ට පැවරීම වැනි තීරණාත්මක කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජනාධිපතිවරයා දුන් පොරොන්දු ද ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  සාදරයෙන් පිළිගනී. ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ප්‍රජාවට මෙන්ම සහ ඩයස්පෝරා ප්‍රජාවටද මේවා වැදගත් පොරොන්දු වන්නේය.

දේශපාලන ක්ෂේත්‍රයේද, උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදයට දිගු කාලීන විසඳුම් සෙවීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දෙමළ නියෝජිතයින් හා ආණ්ඩුව අතර ඇති බැඳීම ශක්තිමත් කිරීම සඳහාද දෙමළ ඩයස්පෝරාවේ මැදිහත් වීම අනුග්‍ර‍හය දැක්වීමක් විය යුතුය.

ඩයස්පෝරාවේ සමහර කොටස් පමණක් තෝරා නොගෙන, ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිමත් යුගයක් උදා කරමින් අපේ රටේ සංවර්ධනයේ හවුල්කරුවන් වීමට ඩයස්පෝරාවේ සෑම අංශයකටම හැකි වන පරිදි, ශක්තිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

වී. සිවලිංගම්

සභාපති

ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව – NRT-SL

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *