මහේෂ් හපුගොඩ විසිනි
දවසක් බූරුවෙකුයි උගේ අයිතිකාරයයි ගමනක් ගියා. ටිකක් නන්නාදුනන පැත්තකින් ගමන් කරනකොට එකපාරටම බූරුවා වලකට වැටුණා. ඒක ටිකක් ගැඹුරු වලක්. වළට දෙරිගහපු බූරු තඩියා ගන්න දැන් අයිතිකාරයා වෙහෙස වෙනවා. එහෙම උනාට ඌ උඩට ගන්න බැරි වුණා. එකක් උගේ බර. අනික වළේ ගැඹුර.
ටිකක් දඟලලා අයිතිකාරයා වැඩේ අත ඇරලා දැම්මා. ඒත් මේ වළ ඇතුළේ බුරුවා කන්නත් නැතුව බොන්නත් නැතුව දුක් විඳලා මැරෙනවා දකින්න අයිතිකාරයා කැමති උණේ නැහැ. ඒ නිසා එයා හිතුවා බූරුවා මිහිදන් කරලා දාල යනවා කියල. එහෙම හිතලා අයිතිකාරයා වළට පස් දාන්න ගත්තා. දාන පස් දැන් බූරුවා ගේ ඇඟේත් වදිනවා.
ටික වෙලාවක් පස් දානකොට වළ ටික ටික පිරෙන්න ගත්තා. ඒ පිරෙන පිරෙන විදියට පස් ටික තලාගෙන බූරුවා වළෙන් මතු වෙන්න ගත්තා. තව ටිකකින් මෙන්න බූරුවා වළෙන් එළියට පැනපි. දෙන්නා ආයේ ගමන පටන් ගත්තා.
ප්‍රශ්නයක් හමුවේ නිකම්ම ඉන්නේ නැතුව මොනවා හරි කරන්න පටන් ගන්න. ඒක දිගටම කරන කොට මොකක් හරි වෙන්න පුළුවන්. ඒ එක පාඩමක්.
ඔබ දිහාවට විසි කරන පස් කැට, ගල් මුල් ඔබේ ඇඟේ වදින්න පුළුවන් තමයි. හැබැයි වැටුණ වලෙන් ගොඩ එන්න ඒ පස්, ගල් මුල් ම පාවිච්චි කරන්න. ඒ තමයි අනික් පාඩම.
(ජපන් ජන කතාවක්)