පහන්තුඩාවේ සංසර්ග සංස්කෘතිය: මුර බල්ලනි, ගල මතුපිට ලෙස්සනවා පය පැටලේවී..!

-ඥානසිරි කොත්තිගොඩ ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.සැප්.12, පෙ.ව.7.20)

පහන්තුඩාවේ ශෘංගාර වීඩියෝවේ දැක්වෙන කාන්තාව බරපතල පාරිසරික දූෂණයක්  කරනවා නේද?  ගලක් මතුපිට අඹුසැමියන් ලෙස හැසිරීම නීතියෙන් තහනම්ද?  එය අසභ්‍යද?  සභ්‍යද ? ඉහත ප්‍රශ්න කීපය මට මතුවුනේ පහන්තුඩාව ජාත්‍යන්තර තලයට නැංවූ වීඩියෝව ගැන පත්තරවල තිබුන වාර්තා කීපයක් හා එම දර්ශන දැකලා.

මේ එවැනි පුවත්පත් වාර්තා දෙකක්.  “බලන්ගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹුසැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි”.   “රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කර ගනිමින් අසභ්‍ය වීඩියෝ පටියක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ තරුණියක හා තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මොවුන් අත්අඩංගුවට ගන්නේ දම්සක් පදනමේ සභාපති යැයි තමන් හදුන්වා ගන්නා ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමි නමැති බෞද්ධ භික්‍ෂුවක් කරන ලද පැමිණිල්ලකටය. එහිමියන් ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් මෙම ලිංගික වීඩියෝව මගින් රටේ සංස්කෘතියට,  සදාචාරයට මරු පහරක් එල්ල වෙනවා කියන චෝදනාවක් කර තිබෙනවා. ඊට අමතරව දරු පරපුරටද හානියක් වෙනවාය කියා මේ සියල්ල සලකා බලා වහාම නීතිමය පියවරක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

සංස්කෘතිය, කල්චර්..

ඒත් සංස්කෘතිය, සදාචාරය කියන්නෙ මොකක්ද කියලා මේ ලියුමේ විග්‍රහයක් නැහැ. එමනිසා සංස්කෘතිය, සදාචාරය කියන්නෙ මොකක්ද?.  එළිමහන් ලිංගික වීඩියෝවකින් එයට මරු පහරක් එල්ල වෙන්නේ කොහොමද කියලා මාධ්‍ය ආයතනයකට හෝ පුද්ගලයකුට හෝ මේ හාමුදුරුවන් ප්‍රශ්න කරලා අපව දැනුවත් කරන්න පුලුවන්නම් ඉතාමත් හොඳයි. මොකද බොහෝ දෙනා දැනට අපේ සංස්කෘතිය කියලා කියන්නේ කොරවක් ගල්, සඳකඩ පහන, ඇම්බැක්කේ, වටදාගේ, නුවර පෙරහැර, පරාක්‍රම සමුද්‍රය හා සීගිරිය වැනි අපට පෙනෙන නිර්මාණවලට. එහෙමනම් මේ වීඩියෝවෙන් ඒවාට හානියක් වෙන්නේ කොහොමද?  එතකොට ඒවා විතරද සංස්කෘතිය කියන්නේ?

සොබාදහම විසින් නුදුන් සියලු දේ..

සංස්කෘතිය කියන වචනය ලෝකයේ විවිධ භාෂාවලත් තියෙනවා. ඒක ලංකාවට විතරක් ආවේනික එකක් නෙවෙයි.  යුරෝපයේ මෙය හඳුන්වන්නේ කල්චර් කියලා. ඒ කියන්නේ වැඩීම නැතිනම් වර්ධනය කියන අදහස. සංස්කෘතිය කිව්වාම වචන දෙකක්. සංස් කියන්නේ සියල්ල. කෘත කියන්නේ ක්‍රියාවන්. සංස්කෘත කියන්නේ සියලු ක්‍රියාවන්. ඔක්ස්ෆර්ඩ් මහා ශබ්ද කෝෂය Culture සඳහා දී ඇති නිර්වචනය, The way of life of a people, including their attitudes, values, beliefs, arts, sciences, modes of perception, and habits of thought and activity, යන්නයි.  ඒ කියන්නේ ආකල්ප, සාරධර්ම, ඇදහිලි, කලා, විද්‍යා, සංජානන ප්‍රකාර සහ සිතුවිලි හා ක්‍රියාකාරකම් විලාසයයි.

සරල තේරුමෙන් ගත්තොත් මානව වර්ගයාගේ සකල ක්‍රියා හඳුන්වන්නේ සංස්කෘතිය කියලා.  ඉතිහාසඥයන්, පඞිවරුන් මෙය කෙටියෙන් නම් කරනවා සොබාදහම විසින් නුදුන් සියලු දේ තමයි සංස්කෘතිය කියලා. එහෙම බැලුවාම සංසර්ගය කියන්නේ ක්‍රියාවලියක් නම් එය මානවයාගේ නිර්මාණයක් නම් ඒ සියල්ලද සංස්කෘතියයි. සංඝ සමාජය, ඊනියා සුචරිතවාදීන් මෙය පිළිගන්නේද?.  එසේනම් සංස්කෘතියේ  කොටසක් උත්කර්ෂයට නගද්දී,  ඒවා ගැන බොහොම උජාරුවෙන් කතා කරමින් ගොඩනගද්දී ඒ සංස්කෘතියේම තවත් කොටසක් සැඟවීමට, ගැරහීමට, අපවාදයට ලක්කළ යුතුද?

අර්ථ, ධර්ම, කාම, මෝක්‍ෂ..


පුරාන ඉංදියානු මතවාදය ඇතුළේ තිබෙනවා ජීවිතය පවතින්නේ කුමන සතුටක් මතද කියලා.  ඒකෙදි අර්ථ, ධර්ම, කාම, මෝක්‍ෂ කියලා කොටස් හතරක් තියෙනවා. මෝක්‍ෂය ලබන්න නම් අර්ථ, ධර්ම සහ කාම කියන මේ තුන ඉතා හොඳින් ලබන්නා වූ කෙනෙක් වෙන්න ඕන.  විශාඛා සිටුදුව එවැන්නියක්.  ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වූ ඇය මාර්ගඵල ලාභිනියක් (සෝවාන්)  ලෙස තමයි බෞද්ධ සාහිත්‍යයේ ලියැවී තිබෙන්නේ. 

මේ මතවාදය ඇතුළේ තිබෙන අර්ථ නැතිනම් ආර්ථික කියන කරුණ ගැන ලියලා තියෙන්නේ ඒ පිළිබඳ මනා දැනුමක් තිබුන කෞටිල්‍ය.  ධර්මය නැතිනම් ආධ්‍යත්මික සුවය පිළිබඳ ඉගැන්වීම් තිබෙන්නේ බුදුන්, නිගන්ඨනාථපුත්‍ර, මක්කලීඝෝසාල වැනි අය. කාම හෙවත් ලෞකික සුවය විඳින්නේ කොහොමද කියලා කාමසූත්‍ර මගින් වාත්ස්‍යාන කියල දෙනවා. කාමසූත්‍රවල තිබෙන එකක් තමයි කාමරාග.

වාත්ස්‍යාන කී රති සංස්කෘතිය..

කාමරාගයේත් කොටස් ගණනාවක් තිබෙනවා. ඒවා විවිධ නම් වලින් හඳුන්වනවා. ආලිංගනය; ස්පර්ශය, සිප ගැනීම.  ඇඟිලි තුඩු වලින් සහ නියපොතුවලින් කරන්නා වූ උත්තේජනයන් ‘නඛ’ නමින් හඳුන්වනවා. පිරිමි, ගැහැණු අන්නෝන්‍ය ක්‍රියාකාරකම් වලට කියන්නේ ‘නායක නායිකා’ කියලා. දත්වලින් කෙරෙන ඒවා හපාකෑම් වැනි දේ දර්ශණ.  තොල් හා ශරීරයේ විවිධ තැන් උරාබීම ‘චුම්බන’ ලෙසත් ලිංගේන්ද්‍රියන් උරන එක ‘ඕපරිෂ්ඛක’ කියලාත් කියනවා.  කායික සංසර්ගයේ යෙදීම ‘යන්ත්‍ර සංයෝගය’ ලෙස නම්කර ඇති අතර එය විවිධ වූ ඉරියව්වල ඉඳිමින් සිදුකළ හැකි බවයි කාමසූත්‍ර කෘතියේ වාත්ස්‍යාන පෙන්වා දෙන්නේ. මෙලෙසින් ලිංගික සංවාසයේ යෙදෙමින් කෙඳිරි ගෑම්, සිනාසීම් වැනි නිකුත් කරන්නා වූ ශබ්දයන් ‘සීක්කාර’ ලෙස තමයි වාත්ස්‍යාන ගේ රති සංස්කෘතිය.

දැන් අපේ සංස්කෘතිය කියන්නෙත්  මේ සංස්කෘතික ධාරවන් ගෙන් ගලා එන ඒව තමයි.  ලෝකයේ රටවල්, බටහිර, මැද පෙරදිග, අප්‍රිකා, ඇමෙරිකා තම තමන් ගේ සංස්කෘතික දියුණුව, වර්ධනය ඔස්සේ ඒවා පිළිගෙන තියෙනවා.  නමුත් ලංකාවේ සභ්‍ය අසභ්‍ය වෙන සීමා මායිම මොකක්ද?  සභ්‍ය දේ අසභ්‍ය වෙන රේඛාව කොතැනද කියල නිශ්චිත නිර්නායකයන් නෑ.  ඒ නිසා එක් එක් අධිකාරීන් තම තමන් ගේ සමාජීය පසුබිමට ගැලපෙන විදියට  (හොර රහසේ සියල්ලට ආශා කරමින් හා බුක්ති විඳිමින්)  මේවා වරනගා ගන්නවා. මෙතැනදි ඉතාමත් බලහත්කාරී ලෙස හා ආඥාදායක විදියට ගිහි සමාජයට මැදිහත් වෙන්නේ සංඝ සමාජය.

සර්වතෝභද්‍ර එකම කොට්ඨාශය සංඝ සමාජයත් ෆේල් නේද?

වින්නඹු අම්මාගේ කාර්යයේ සිට මිනිය එම්බාම් කිරීම දක්වා වූ ලෞකික සමාජයේ සියලු දේ පිළිබඳ නිර්නය කිරීමේ අයිතිය, දැනුම, ඥානය, බලය හා හැකියාව තියෙන සර්වතෝභද්‍ර එකම කොට්ඨාශය සංඝ සමාජයයි කියල තමයි ඔවුන් ක්‍රියා කරන ආකාරයෙන් පෙනෙන්න තියෙන්නේ.  ඉස්ලාමීය දොස්තරවරයෙක් සිංහල බෞද්ධ අම්මලාගේ පැලෝපීය නාලය මිරිකලා ජාතිය වඳ කරනවාය, අධිකරණයට අපහාස කරනවාය,  වඳ කොත්තු තිබෙනවාය මේ ආදී සියල්ලේ මූලිකත්වය ගෙන තිබෙන්නේ සංඝ සමාජයයි. මිනිස් ශරීරයේ වර්ධනය පිළිබඳ නාට්‍ය අනුසාරයෙන් පළ වූ  “අපේ හතේ පංතියේ පොත”  තහනම් කිරීමට ආරම්බක වෙඩිමුරය තැබුවේත්  භික්‍ෂූන් සහ ඇතැම් මාධ්‍ය ආයතන.  බණ්ඩාරනායකට වෙඩි තැබීමේ සිට හිට්ලර් කෙනෙක් වෙලා හරි රට පාලනය කරන්න කියමින් දේශපාලන බලාධිකාරිය යටත් කරගනිමින් ඒමත සිය අණසක විහිදුවා ගෙන ඉන්නෙත් මේ සංඝ සමාජයම තමයි. වසර පනහකට අධික කාලයක් තිස්සේ කරන්නා වූ මේ මැදිහත්වීම් නිසා අදවන විට ගිහි සමාජය තිබෙන්නේ වඩා ප්‍රශස්ත තැනකද?  නැතිනම් අගාධයකද?  මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව සමාජය තුළ පැලපදියම් වෙලාද?  නැතිනම් අතුරුදහන් වෙලාද?  ඒ වෙනුවට වෛරය , ක්‍රෝධය , එකිනෙකා පිලිබඳ සැක කිරීම, අවිද්‍යාව , සංස්කෘතික දුගීකමින් කොරෝනා වලටත් වඩා ජනසමාජය අඳුරට දමල නේද?  සංඝ සමාජයත් ෆේල් නේද?  මෙව්වත් අපේ සංස්කෘතිය ගැන මට නැගෙන සංස්කෘතික ප්‍රශ්න.

නොදන්නා වෙදකමට නොගිය බුදුන්..

නමුත් ලංකාවේ භික්‍ෂු සමාජයේ ශාස්තෘවරයාණන් ලෙස පිළිගන්නා බුදුන් ගේ චර්යාව මෙයට මුළුමනින්ම පටහැනි බව තමයි බෞද්ධ සාහිත්‍ය තුළ තිබෙන්නේ.  සුද්ධෝදන රජ්ජුරුවන් සිදුහත් කුමරා අහිමිවීම නිසා රාජ්‍ය බාර දෙන්න නන්ද කුමාරයා පිලිබඳ  බලාපොරොත්තු තබාගෙන තිබුනේ. නමුත් බුදුන් ගේ තනි තීරණයට නන්ද කුමාරයා මහණ කිරීම නිසා කළකිරීමට පත්ව සිටි  සුද්ධෝදනට ඊලඟ බලපොරොත්තුව වූ රාහුල කුමාරයත් පැවිදි කළා. මෙයින් බලවත් කම්පාවටත්, කෝපයටත් පත් වු සුද්ධෝදන රජු බුදුන් මුණගැසී  “ඔබ ගිහිගෙය අතහැර ගියා. එනිසා මගෙන් පසු රාජ්‍ය බාරදෙන්න කෙනෙක් නැතිවුනා. ඉන්පසු මාගේ බලාපොරොත්තුව වූ නන්ද කුමරා සහ රාහුල කුමාරයාත් ඔබ පැවිදි කළා.  ඔබට ලෞකික ජීවිතයේ තිබෙන බැඳීම්, ප්‍රශ්න තේරෙන්නේ නෑ.  එනිසා කුඩා දරුවන් මහණ කිරීම නොකළ යුතුයි.  යමෙක් මහණ කිරීමේදී දෙමාපිය අදහස් විමසා බලන්න”  යනුවෙන් ඉල්ලා සිටියා. බුදුන් එය පිළිගනිමින් කපුටකුට ගලකින් ගසා එළැවීමට තරම් දැනුමක් හා වැඩීමක් නැති දරුවන් මහණ කරන්නට බැරිවෙන විදියේ  නීතියක් පැනවූ බවයි සඳහන් වෙන්නේ.  ඒ වගේම බුදුන් තමන්ට අසනීපයක් වූ විට ජීවක නැමති වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර ගත් බවත් සර්වඥ යන නමින් හඳුන්වනු ලැබුවද නොදන්නා වෙදකමට නොගිය බවත් බෞද්ධ පොතපතේ සඳහන් වෙනවා.

මෙයින් බුදුන් පෙන්වා දී ඇති ආදර්ශය නම් සියල්ල තමන් දන්නවා යැයි සිතා කටයුතු නොකළ යුතු බවයි. නොදන්නා දේ දන්නා කෙනෙකුගෙන් අසා විමසා බැලීමත්, දන්නා අයට දන්නා දේ කරන්නට ඉඩහැර බලා සිටින ලෙසත්ය.  නමුත් මාක්ස් ලෙනින්වාදීන් තමන් යැයි තමන්ම නම් කරගන්නා පක්‍ෂ, සංවිධාන ධනපති පාලකයන් හා එක්ව පීඩිතයන් මරා දැමීමට යුද්ද කරන රටේ,  පීඩිතයන් කම්කරුවන් සූරා කමින් ධනපති ආණ්ඩුවල ඇමති මණ්ඩලයේ යාවජීව සාමාජිකයන් වූ මාක්ස් ලෙනින්වාදීන් යැයි කියාගන්නා පිරිස් ඉන්නා රටේ,  බුදුන් ගේ ශ්‍රාවකයන් යැයි  කියා ගන්නා නමුත් එසේ නොවන භික්‍ෂූන් සිටීම කිනම් අරුමයක්ද?.  ක්‍රීඩා, අධිකරණ වාර්තා, දේශපාලන, සාහිත්‍ය, ආරක්‍ෂක ඇතුළු සෑම විෂයක් පිළිබඳවම එකම මාධ්‍යකරුවා වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යකරුවන් ඉන්නා ලංකාවේ,  එක ගුරුවරයෙක්ට මාර්ගගත අධ්‍යාපනය තුළින් සියලු විෂයන් ඉගැන්විය හැකියැයි තප්පුලෑ කැබිනට් ඇමතිවරු ඉන්නා රටේ හැම ප්‍රශ්නයකදීම තමන් ගේ මැදිහත්වීමක් අවශ්‍යයැයි කල්පනා කරන භික්‍ෂූන් සිටීම අංගොඩ යවන්නට තරම් කාරණාවක්ද?

සංඝ සමාජය මේ බලහත්කාරකමෙන් ඉවත් විය යුතුයි..

විමසා  බැලුවහොත් වසර පනහකට වැඩි ඉතිහාසය දෙස්දෙන්නේ ගිහි ජිවිතයේ සෑම කරුණක් අරබයාම කරන්නා වූ සිය මැදිහත්වීම් අසාර්ථක යැයි නම් ඉදින් දැන්වත් සංඝ සමාජයම කතිකා කරගනිමින් ලෞකික සමාජයට කරන්නා වූ මේ බලහත්කාරකමෙන් ඉවත්විය යුතුයි. අසංස්කෘතික, මුග්ධ ආඥාදායකත්වය නතර කළ යුතුය.  එසේ නොවන්නේනම් ජනතා මැදිහත්වීමෙන් මේ බලහත්කාරකමෙන්, මුග්ධ ආඥාදායකත්වයෙන් නිදහස්වීමේ අරගලය ආරම්භ කරන්න ඕන.  එසේ නොවනතාක් අසංස්කෘතික ගෝත්‍රික භාවයෙන් පියවරක් හෝ පෙරට ඒමනම් බොරුය.

රට ඇතුළේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය වෙනුවෙන් කෑ මොර දෙන බොහෝ සුචරිතවාදී පූජ්‍ය, පූජක, දේශපාලන, ජනමාධ්‍ය උපාසක උපාසිකාවන් එතෙර ගියාට පසු පහන්තුඩාවෙ මොන සෙක්ස්ද කියලා තමයි කියන්නේ. බටහිර සංචාරයක් නම් රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් මධුවිතක හෝ ගංජා සුරුට්ටුවක හෝ සිගරැට්ටුවක රස විඳිමින්, නිරුවත් නළඟනන් ගේ රංගනයන් ගෙන් වශී වෙලා අන්තිමේදී කම්සැපත් විඳලා තමයි නවාතැනට එන්නේ. එසේ පැමිනීමෙන් පස්සේ බටහිර තිබෙන ලිංගික නිදහස මොනතරම්ද?  ඒනිසා ළමා අපහරනයන් නැතිවීම,  ලිංගික හිංසනයකින් තොරව මහ රෑ වුවත් කාන්තාවන්ට ඕනෑම තැනක ඉන්න තිබෙන ආරක්‍ෂාව මෙවැනි දේ තමා නොනවත්වාම කතා කරන්නේ. මෙවැනි ලිංගික නිදහසකට ලංකාවේ බාධාකරන එවුන් ගේ පතුරු අරිනා හැටි අහගෙන ඉන්න හරිම ආසයි.  සාප්පු සවාරියේ යනවිට වීදුරු කුටිවල විකිනීමට ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන ලිංගික අවයව දිහා බලා ඉන්නේ අවශ්‍යතාවය හිරකරගෙන මිලදී ගන්න ලැජ්ජාවේ කෙළ හලමින්.  ඒත් සංචාරය නිමවෙලා ආපසු කටුනායක ගුවන්තොටුපළට යානය ගොඩබාන විට  “කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නේ නැති පරසුද්දගේ හිපි සංකෘතියට අපේ දෙදහස් පන්සියක සංස්කෘතියට අලගු තියනවත් පුලුවන් ද”  කියමින් බැන බැන තමයි යන්නේ.

බටහිර රටවල ලිංගික හිංසනයට, ළමා අපචාරයන්ට බරපතල දඞුවම් ලැබෙනවා.  කාන්තාවන්ට නීතියෙන් විශාල රැකවරණයක් සලසා තිබෙනවා. ඒ අතරම බලහත්කාරයෙන් තොර මුදල් ගෙවා ලිංගික සේවා ලබාගත හැකි පහසුකම් රජයන් විසින් සලසා දී තිබෙනවා.  නමුත් ලංකාවේ සියල්ලට වැට බැඳීම විනා අවශ්‍ය කෙනෙකුට ලිංගික පහසුකම් ලබා ගැනීමේ මාවත් විවෘත කර නැහැ.  එවැනි ක්‍රියාමාර්ගයක් සංස්කෘතිය විනාශවීමක් ලෙස තමයි අර්ථ ගන්වන්නේ.  එනිසා සියල්ල හිර කිරීම මිස පිටකර ගැනීමේ මාවතක් නැහැ.

පැමිණිළිකාර භික්‍ෂුව තමයි විත්තිකරු..

ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයේ 1995 අංක 22 දරණ සංශෝධිත පණතේ 286 වගන්තිය අනුව අසභ්‍ය දර්ශන පෙන්වීම සහ ඒ සඳහා පුද්ගලයන් යොදා ගැනීම වරදක් ලෙස සඳහන් වෙනවා. නමුත් තිබෙන තොරතුරු අනුව පහන්තුඩාවේ එළිමහන් ලිංගික දර්ශන පෝර්න් හබ් කියන විදේශයක ක්‍රියාත්මක වැඩිහිටියන්ගේ වෙබ් පිටුවකට තමයි යවල තියෙන්නේ. පෝර්න් හබ් වෙබ් අඩවිය ලංකාවේ අවහිර කරළ තියෙන්නේ. අපේ ශ්‍රාස්ත්‍රපති දයාවංශ උන්නාන්සේ  V P N  හරහා ගිහින් මහත් වෙහෙසක් දරා තමයි මේ වීඩියෝව නරඹල තිබෙන්නේ. එනිසා පෝර්න් බැලීම ලංකාවේ නීතියෙන් වරදක් නම් පැමිණිළිකාර භික්‍ෂුව තමයි විත්තිකරු වෙන්නේ. බුදුන් ඒ ගැන කියලා නැතිවා ඇති.  මොකද ඒ කාලේ වීඩියෝ හරි ඉන්ටර්නෙට් හරි තිබුනේ නැති නිසා. (දැන් කවුරු හරි සර්වඥ නම් ඒවත් දැනගෙන ඉන්න ඕනේ නේද, වගේ හතරබීරි ප්‍රශ්න වලට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ.)

1841 අංක 4 දරණ පාදඩ ආඥා පනතේ මෙහෙම සඳහන් වෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල අනිසි හැසිරීම හෝ මහජනයාගේ පිළිකුලට භාජනයවන ආකාරයෙන් හැසිරීම හෝ කිසියම් කෙනෙකුට අනිසි ලිංගික ක්‍රියාවකට උත්සාහ කිරීම වරදක් කියල. ගලක් උඩ අඹුසැමියන් ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට ගත්ත කියල එක් මාධ්‍ය වාර්තාවක තිබෙනවා. එනිසා අඹු සැමියන් ලෙස හැසිරීම කියන්නේ මොකක්ද කියලා ඉතින් ඒ ලියපු ඇත්තන්ම පැහැදිලි කර දෙනවා නම් තමයි හොඳ.

ශ්‍රාස්ත්‍රපති හාමුදුරුවන් එල්ල කරන තවත් චෝදනාවක් තමයි මෙවැනි වීඩියෝ නිසා දරු පරපුරට හානියක් වෙනවා කියලා.  හාමුදුරුවනේ, සිදුවන හානිය කුමක්ද යන්න වඩා සංයුක්තව,  උදාහරණ සහිතව දේශනා කළ හැකිනම් පිං. මේ වීඩියෝව නිසා හානියට පත්වෙච්ච දරුවෙක් හමුවුනොත් අට්පට්ටමට හරි G TV එකට හරි ගෙනත් දෙන්න.

උන්මාදචිත්‍රාත් ගැබිනියක් වුනාලු..

තාක්ෂණික මෙවලම් දරුවන් පරිහරණය කිරීම පිලිබඳ වගකීම පැවරෙන්නේ දෙමාපියනට.  දරුවාගේ වයසට නොගැලපෙන බව අනුමාන කරන්නේනම් විවෘත නොකළ යුතුයි සිතෙන දොරටු අගුල්ලා තැබීමේ හැකියාවන්ද මෙකී තාක්ෂණික මෙවලම්වල තිබෙනවා.  හැබැයි එක්ටැම් ගෙයක් හදල මුරකාවල් දමා ආරක්ෂා කළ උන්මාදචිත්‍රාත් ගැබිනියක් වුනාලු.  එයින් දෙන පනිවුඩය තමයි ලිංගිකත්වය කියන එක එතරම් ප්‍රබලයි කියල.  එමනිසා ගතයුතු නුවනක්කාර  තීන්දුව නම් වයස අවුරුදු දහයට වැඩිනම්  ලිංගිකත්වය ගැන දරුවන් දැනුවත් කිරීම.  ලිංගික සංසර්ගයේ යෙදෙනවානම් එහි හොඳ නරක.  එවැනි මොහොතක පාවිච්චි කළ යුතු (කොන්ඩම් වැනි)  ආරක්‍ෂිත ක්‍රම මොනවාදැයි කියාදීම.

සරල උදාහාරණයක් තමයි, කුස්සියේ කොච්චර රහ කෑම ඉව්වත් දරුවන්ට ලිපේ එබෙන්ඩ නොදී දෙමාපියෝ පරිස්සම් කරගන්නවා නේද?  ඒ වගේම, ඇතැම් දෙමාපියන් කුඩා කාලේ ඉඳලම දරුවන් කුස්සියේ උයන, පිහින, ඒදන වැඩවලට ප්‍රවේසම් සහගතව හවුල් කරගන්නවා නේද?  අන්න ඒ වගේ.

මධුසමය යනු ජිල් බෝල ගැහැල්ලක් නොවේ නම්..

ඉන්ටර්කොන්ටිනෙන්ටල් යනු අන්තර්මහද්වීපික අරුත ගෙන දෙනවා. බොහෝ දෙනා ප්‍රසිද්ධ විවාහ උත්සවවලින් පසුව මධුසමය ගත කිරීමට යන්නේ අන්තර්ජාතික ප්‍රසිද්ධියක් උසුලන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට.  කවුරුත් දන්නවා මධුසමය ගතකරනවා කියන්නේ ජිල් බෝල ගැහැල්ලක් නෙමේ කියලා. නමුත් ඒ යුවළගේ ලිංගික ක්‍රියා සිදුවන්නේ කාටවත් නොපෙනෙන්න.  පහන්තුඩාවේ යුවලත් ප්‍රසිද්ධ ස්ථානයක ලිංගික සංසර්ගයේ යෙදිල තියෙන්නේ අප්‍රසිද්ධියේ.  මේ සිදුවීම සජීවී ලෙසින් දැකපු කෙනෙක් නෑ. හාමුදුරුවෝ පැමිණිළි කරන්නෙත්, මාධ්‍ය වාර්තා කරන්නෙත්, පොලිසිය අත්අඩංගුවට ගන්නෙත් වීඩියෝවක් නිසා. එහෙමනම් ඔවුන් නීතිමය වරදක් කර නැහැනේද? එහෙම නම් අන්තර්ජාලයට විවිධාකාරයෙන් ලිංගික හැසිරීම් මුදාහැර තිබෙන ලංකාවේ හැමෝම අල්ලන්න ඕනේ නේද?

මේ පිලිබඳ එක් නීති වුර්තිකයෙක් කිවේ  “මේ වීඩියෝවේ ඉන්න දෙපළට නඩුවක් දානවනම් දාන්න වෙන්නේ අපරාධ නීතිය යටතේ. අපරාධ නීතිය යටතේ නඩුවක් පවරන්නනම් වින්දිතයෙක් ඉන්න ඕන. නමුත් එහෙම වින්දිතයෙක් මෙතන නෑ . අඩුම තරමේ ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් පැමිණිළි කළා නම් මම මේ ඇල්ල ලඟ බවුන් වඩමින් හිටියේ. මේ දෙපළගේ ලිංගික ක්‍රියා නිසා මගේ දැහැන් බිඳුනා කියල, එහෙනම් වින්දිතයෙක් ඉන්නවා. ( උසාවියේදී විත්ති පාර්ශ්වයට අහන්න පුළුවන් බවුන් වැඩුවේ ඇස් අරගෙනද කියල.)  නමුත් ශ්‍රාස්ත්‍රපති හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ බවුන් වඩමින් නෙමේ පෝර්න් බලමින්. ඒ නිසා මේ දෙපළට විරුද්ධව නීතිමය පියවරක් ගැනීමට තිබෙන ඉඩකඩ බොහොම අඩුයි” කියල.

ඉන්පසුව එන මහජනයාගේ පිළිකුල කියන කාරනාව විනිශ්චය කරන්නේ කවුද?  අධිකරණයද?  ජනමාධ්‍යද?  සංඝ සමාජයද?  නැතිනම් වෙන කවුද?  එසේනම් මෙකී වීඩියෝව මහජන ප්‍රදර්ශනකින් පසුව පිළිකුල් සහගතද? නැද්ද යන්න විනිශ්චයක් ලබාගත යුතු නොවේද?.  (දැනටමත් මෙම වීඩියෝව ලක්ෂ පනහකට අධික පිරිසක් නරඹා ඇතැයි වාර්තාවේ.)

ආදරය කියන වචනයට විවිධ අරුත් දෙනවා.  පිළිකුල, ජාතික ආරක්‍ෂාව වැනි වචනත් එලෙස තම තමන්ට හැඟෙන පරිදි වරනගා ගත හැකියි.  එහි ප්‍රතිඵලය වන්නේ තම තමන් ගේ සිතැඟි පරිදි ඒවා නිර්වචනය කරමින් අවශ්‍යනම් දඬුවම් පැමිනවීම හෝ නැතිනම් නිදොස් කිරීම නොවේද?  බලවතුන්ට රිංගා යාම සඳහා නීතියේ හිල් තිබෙනවා කියන්නේ මේවාට තමයි.  එවැනි විනිශ්චයන් කෙතරම් සාධාරණද?. යුක්ති සහගතද?.

ජලයට මූත්‍රා කිරීම නම් ගෝත්‍රිකයි...

එළිමහන් ලිංගික වීඩියෝවෙන් එකී කාන්තාවට දඬුවමක් නොලැබුනත් ඇය කරන්නා වූ පරිසර දූෂණයට නම් දඬුවමක් ලැබෙන්නම ඕන. සිය ලිංගික ක්‍රියාකරම් අවසානයේ ඇය පහන්තුඩාව ඇල්ලට පිටු පාමින්  (ඇතැම් විට ඇල්ල නිරූපනය කරනවා විය හැක.)  එයින් ගලාබසින ජලයට මූත්‍රා කිරීම නම් ගෝත්‍රික ගති ලක්‍ෂණ කියාපාන්නක්.  එම ක්‍රියාව නොවළක්වන එහි සිටින පිරිමියාටද එයට දඬුවමක් හිමි වෙන්න ඕන. පරිසරයේ අසිරිය,  සුව විඳිනවා හැර ඒමත පැහැරීම නම් කිසිසේත් අනුමත කළහැකි ක්‍රියාවක් නම් නොවේ.

මෙහිදී මහජනතාවටද විශාල වගකීමක් පැවැරී තිබෙනවා. සන්නිවේදනය කියන්නේ උපදේශ, අදහස් හුවමාරුවක්. මේවා අපට එන්නේ පණිවුඩ ලෙස. එවිට ඒ පනිවුඩය ලබන්නාට තිබෙන අයිතියක් තමයි තමාට පනිවුඩය දෙනු ලබන තැනත්තාට ඒ පිළිබඳ තිබෙන දැනුම කුමක්දැයි විමසා බැලීම. ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වා කෑමක රසයක් ගැන කියනවානම් අපට ඒක කන් නවාගෙන අහගෙන ඉන්න වෙනවා. මොකද ඔහු ඒ පිළිබඳ දැනමුත්තෙක් නිසා.  නමුත් ගෝටාන්ඩුවෙන් ගල්කිස්සෙන් මුහුදට වැලි දැමීම ගැන පබිලිස් සිල්වා කියන විට අපිට දෙකොණෙන් හිනා යනවා. ජැක්සන් ඇන්තනී රංග කලාව, සිනමාව ගැන කියනවිට හරි මිහිරියි. නමුත් රාජපක්‍ෂ ජාතකය කියන විට අජූතයි.  එමනිසා පන්සලේ හාමුදුරුවෝ නිසා හෝ පල්ලියේ පූජකතුමා නිසා හෝ කෝවිලේ කුරුක්කල්තුමා නිසා හෝ  ඉස්ලාම් දහමේ මවුලවි නිසා හෝ  ආණ්ඩුවේ මැති ඇමතියෙක් නිසා හෝ පවසන්නා වූ හැමදේම තර්ක බුද්ධියෙන් විමසා බලා මිස පිලිගන්න නම් එපා.

කුණ්ඩලකේශීත් සීඅයිඩියට..

අවසාන වශයෙන් මේ ගැනත් කියන්න ඕන.  කුණ්ඩලකේශී සහ සත්තුක පුන්සඳ තිබෙන රාත්‍රියක කැලෑවක් මැදින් යනවිට එහි පරිසර බලපෑමෙන් කුන්ඩලකේශීට ඇතිවන රාගික හැගීම් නිසා සිය ස්වාමියාට ලිංගික සංසර්ගය සඳහා අරාධනා කරනවා.  මෙය ඉතා මනරම් ලෙස කුණ්ඩලකේශී වේදිකා නාට්‍යයට මහගම සේකර ලියූ ගීතයකින් කියා දෙනවා.  “අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනී,  ලියවැල් පැටලී ගොසිනී,  පුෂ්ප පිපී මකරන්ද ගලා එයි මාරුතයේ හැපිලා, මන්මද රංගන මණ්ඩපයේ මෙම මන්ද බලා හිඳිනේ, තව පෙම් බර මා ස්වාමිනේ” කියලා. ඉතින් අද වගේ දවසක මේ සිදුවීම වුනානම් කුණ්ඩලකේශී සත්තුකගෙන් ජීවිතය බේරාගත්තත් සංඝ සමාජයෙන්, සීඅයිඩී එකෙන්, ජනමාධ්‍ය ඇතුළු ඊනියා සුචරිතවාදීන් ගෙන් නම් බේරුමක් නැතිවේවි.

ඥානසිරි කොත්තිගොඩ විසිනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *