2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය. 

ලොව පුරා පැතිරුණ කොවිඩ්-19 වසංගතය තුළ දී සෑම රටකම ස්ත්‍රීහු අසමානුපාතික බලපෑමකට ලක්වූහ. 2022 මාර්තු 8 වනදා වන විට යුක්රේනයේ යුද්ධයට මැදිවූ ස්ත්‍රීන් සහ ළමුන් ගේ මෙන්ම ලෝකයේ සෙසු රටවල පසුගිය කාලය පුරාම යුද්ධයන්ට සහ අධික සූරාකෑමට ලක් වී පීඩා විඳින ස්ත්‍රීන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමටත් ඔවුනට සමානාත්මතාය දිනාගැනීමේ අරගලයට විශේෂිත තත්වයක්, එනම් ස්ත්‍රීන්ට වැඩි සැලකිලි දැක්වීමේ ප්‍රතිපත්තියක් ජනතා අරගල තුළදී ලබාදීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් බව පැහැදිලි කරුණකි.

ලෝක ජනගහනයෙ බහුතරය වනුයේ ස්ත්‍රීන් වන අතර ඔවුනට සමානාත්මතාවය ලබාදීම අප කරන සෑම කාර්යයකම හදවත වන්නේ ය. මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරීමේ අරමුණ විය යුත්තේ ලොව පුරා ස්ත්‍රීන් මුහුණ දෙන ගැටලු ගැන අවධානය යොමු කිරීම පමණක් නොව, ලොව පුරා සිටින ස්ත්‍රීන් සහ ගැහැනු දරුවන් සමානාත්මතාවය සඳහා ගෙන යන අරගලයන් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් වශයෙනි.

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ සමාන අයිතිවාසිකම් සඳහා වූ ස්ත්‍රී අරගලවල ඉතිහාසය දිගු හා ධෛර්ය සම්පන්න එකකි.

රැකියාවේදී සහ නිවසේදී ස්ත්‍රීන්ට අසමාන ලෙස බලපෑම් ඇති කළ‍, වසර දෙකක් පුරා පැවතී ඇති කම්පනකාරී කොවිඩ්-19 වසංගතය හමුවේ ස්ත්‍රී දිනය සැමරීම අපහසු කාර්යයක් ලෙස බොහෝ දෙනෙකුට හැඟී යා හැකිය. පසුගිය සති 2 තුළ රුසියාව විසින් යුක්රේනය දරුණු ලෙස ආක්‍රමණය කිරීම තුළින් මානුෂීය අර්බුදයක් අවුළුවා ඇති අතර සිරියාවේ සිදු වූවාක් මෙන්ම බොහෝ ස්ත්‍රීන් සහ ළමුන් තම ජීවිතය සඳහා පලා යමින් සිටිති. තවත් කොටසක් සිය රටේම රැඳී සිටිමින් සටන් කිරීම හා යුද පෙරමුණට සහාය දීම තෝරාගෙන ඇත.

සමානාත්මතාවය, සාමය සහ සමාජ සාධාරණත්වය අගයන සෑම පුද්ගලයෙක්ම ස්ත්‍රීන් විසින් ගෙනයන සමානාත්මතාවය සඳහා වූ අරගලයට ප්‍රමුඛත්වයක් දීම කෙරෙහි තමන් කොතෙක් දුරට අවධානය යොමුකර තිබේ දැයි සලකා බැලීමට මෙම ජා‍ත්‍යන්තර ස්ත්‍රී දිනයේදී අධිෂ්ඨාන සහගත විය යුතුව ඇත්තේය. එමෙන්ම ස්ත්‍රීන්ගේ සමානාත්මතාවය සඳහාවූ අරගලය කොතෙක් දුර පැමිණ තිබේදැයි අප විසින්ම සලකා බැලීමට මෙය හොඳ අවස්ථාවක් ද වන්නේය.

1800 ගණන්වල අවසාන භාගයේදී ස්ත්‍රීන් ඡන්ද අයිතිය සඳහා සහ වැඩපළේ අමානුෂික දරුණු සේවා කොන්දේසිවලට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගත්හ. එහෙත් එතැන් සිට අද දක්වා ස්ත්රීහු සිය මානුෂික අයිතීන් වෙනුවෙන් කරන ලද අරගල තුළින් දිනා ගෙන ඇති සීමිත අයිතින් බොහොමයක් යළි උදුරා ගැනීමේ උත්සාහයක පාලක පන්තිය හා ඔවුන්ගේ රජයන් යෙදී සිටිති.

එබැවින් අද ජාත්‍යන්තර ස්ත්‍රී දිනය ගැන ස්ත්‍රීන් පමණක් නොව පුරුෂයන්ද විශාල හඬක් නැගීම වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය.

කොවිඩ්-19 වසංගතය අතරතුර අහිමිවී ගිය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයට අදාළ අයිතීන් නැවත ලබා ගැනීමට ස්ත්‍රීන්ට අවශ්‍ය වන අතර ලොව පුරා ඔවුන්ගේ අයිතිවාසිකම් වලට එරෙහිව සිදුකෙර විවිධාකාර ප්‍රහාරයන්ට එරෙහිව ‍අරගල කිරීමට ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද මෙම ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී අධිෂ්ඨාන කරගත යුතුව ඇත.

ස්ත්‍රීන් සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථාන ගොඩනැගීම සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන අයිතීන් ආරක්ෂා කිරීම කෙරෙහි මෙම වසරේ දී අවධානය යොමු කළ යුතුව ඇත්තේය‍.

නිදසුනක් වශයෙන් දක්වතොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි පෙළ කම්කරුවන් වන ඇඟලුම් කම්කරුවන්, උඩරට වතුකරයේ කම්කරුවන් සහ විදේශ සේවාවන්හි යෙදී සිටින ස්ත්‍රී කම්කරුවන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවාව හා ගුරු වෘත්තීය වැනි අංශයන්හි සේවා තත්වයන් ඇතුළුව සේවා ජීවිතය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට රජයේ වැඩි සහයෝගයක් අවශ්‍යව ඇත.

කොවිඩ්-19 අර්බුදය තුළ රට පවත්වාගෙන යාමට මෙම ප්‍රධාන සේවකයන් ආධාර කර ඇත.‍ තෘප්තිමත් රැකියා ජීවිතයක් ගතකිරීමට සහ පවුලේ බැඳීම් සමග කටයුතු කිරීමට නම් ස්ත්‍රීන්ට වඩා නම්‍යශීලී වැඩකරන පැය ගණනක් අවශ්‍ය වන්නේය. සේවායෝජකයන් විසින් ස්ත්‍රී කම්කරුවන්ට එවැනි සාධාරණ පැය ගණනක් ලබාදීම සහතික කිරීමට රජය පියවර ගත යුතුය. 

එහෙත් සිදුවී ඇත්තේත්, සිදුවෙමින් පවතින්නේත් එයට හාත්පසින්ම විරුද්ධ වූ ක්‍රියාවලියකි. ස්ත්‍රීහු තවම ප්‍රාථමික සේවා සපයන්නන් ලෙස සැලකීමට රජය අපේක්ෂා කරනවා පමණක් නොව ප්‍රධාන වශයෙන් ‍්ස්ත්‍රීන් විසින් කරනු ලබන විශාල රැකියා සංඛ්‍යාවකට සමාජය විසින් අඩු වටිනාකමක් නැතහොත් අඩු සැලකිලි දැක්වීමක් ලබාදෙයි. සමාජය තුල පවතින මෙම තත්වය වෙනස් විය යුතුවා මෙන්ම වත්මන් ගැඹුරු අර්බුදයෙන් ගොඩඒමට නම් අප සමාජයේ හදවත තුළ ස්ත්‍රීන් ගේ හඬ රැව් දිය යුතුව ඇත.

සටහන: විල්ප්‍ර‍ඩ් සිල්වා විසිනි 

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *