මාරාන්තික ඩෙංගු රෝගය පරදන නව බලාපොරොත්තුවක්

Republished From: https://thathu.com/2021/10/11/මාරාන්තික-ඩෙංගු-රෝගය-පරද/

ඔක්තෝබර් 11, 2021

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ මාරාන්තික ඩෙංගු රෝගය ගැන  අප කාගේත් අවධානය බාගදා අඩුව ගිය බවක් පෙනී යන්නට පුළුවන. එහෙත් සෑමවසරකම මිලියන 400ක පිරිසක්  ආසාදනය කරන 25,000ක් දෙනා මරුමුවට හෙලන ඩෙංගු මාරයා පි‍ටුදකීමේ අවශ්‍යතාවයෙහි නම් අඩුවක් කොහෙත්ම ඇතිවන්නේ නැත. විශේෂයෙන්ම, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ නිවර්තන කලාපීය රටවලට වැඩි බලපෑමක් එල්ලකරන ඩෙංගු මර්ධනයට මගපාදන ඖෂධයක් ගැන සුබ ආරංචියක් අද ලිපියෙන් ගෙන එන්නෙමු.

ඩෙංගු රෝගය දැඩි වේදනාව සහ මරණය පවා ඇති කළ හැකි වෛරස් රෝගයකි.  ඩෙංගු  පැතිර යන විට වැඩි වැඩියෙන් පීඩාවට පත් වන නිවර්තන කලාපීය රෝහල් වලට නම් ඇත්තෙන්ම එය  සහනදායී පුවතක් වන්නට පුළුවන. ටෙස්ට් ටියුබ් අත්හදා බැලීම් වලදී සහ මීයන් තුළ ඩෙංගු වෛරස් ප්‍රතිවර්තනය වීම වළක්වන සංයෝගයක් නව අධ්‍යයනයකින් හඳුනාගෙන ඇති අතර එය වැඩි කල් නොගොස් පහසුවෙන් ගත හැකි පෙත්තක් ලෙස ජනතාව අතරට පත්වනු ඇත.

මානවයන් අතරේ සායනික අත්හදා බැලීම් වලදී එය සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නම්, ඖෂධය ප්‍රාථමික සත්කාර සායන වලදී ලබා දිය හැකිය. “ඩෙංගු  නව ඖෂධය සංවර්ධනය වෙමින් පවතින රටවලට  ඉතා වැදගත් වෙනවා. මන්ද එය තුන්වැනි ලෝකයට අතිශය ආවේනික  බවක් දක්වන නිසයි” යනුවෙන් සිංගප්පූරුවේ  මහා රෝහලේ බෝවෙන රෝග පිළිබඳ වෛද්‍ය ජෙනී ලෝ පවසන්නීය. ඇය මේ අධ්‍යයනට සහභාගී නොවූ වෙකි.

ඩෙංගු රෝගයෙන් මූලිකව ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ මිලියන 400කට අධික පිරිසක් වාර්ෂිකව අසාදනයට පත්වෙන අතර බොහෝදෙන අතර මද රෝග ලක්ෂණ පෙන්නුම් කළත් මිලියන 96කට දරුණු රෝග තත්ත්වයන් ඇතිවේ. ඩෙංගු , වසරකට 25,000කට මරණය ගෙන එයි.

මෙම රෝගය ඇතිවීමට හේතු වන්නේ ඈඳුනු වෛරස්  නැතිනම් සෙරොටයිප්(මස්තු විද්‍යාත්මකව සුවිශේෂී වන ක්ෂුද්‍ර ජීවි මාදිළිය) හතරක්ය; පසුව වෙනත් සෙරොටයිප් එකකින් ආසාදනය වීම, අභ්‍යන්තර රුධිර වහනය හා මරණ අවදානම වැඩි කරයි. ඩෙංගු රෝගයට ඖෂධ නොමැත. වසංගත තත්ත්වයන්  වලදී, දරුණු තත්ත්වයක පසුවන  ඩෙංගු රෝගීන්ගේ විශාල පිරිසකට  ජීවිතයට තර්ජනාත්මකවන  රෝග ලක්‍ෂණ කළමනාකරණය කිරීම සඳහා රෝහල් ප්‍රතිකාර පැතීමට සිදුවේ.

ඩෙංගු රෝගය සඳහා එන්නත් වැඩිදියුණු කිරීමේ ප්‍රයත්න දශක ගණනාවක් තිස්සේ අධෛරමත් කරවන සාධකයක් වූයේ  සෙරොටයිප් වර්ග හතරෙන්ම එකවර ආරක්ෂා වීමේ අවශ්‍යතාවය පැවතීමයි.  දශක ගණනාවක් තිස්සේ ඩෙංගු එන්නත ලබා දීම මන්දගාමී කර තිබේ. හතරටම එරෙහිව සමබර ක්‍රියාකාරිත්‍වයක් සහිත ඖෂධයක් සොයා ගැනීම හරියට “පිදුරු ගොඩක ඉඳිකටුවක් සෙවීම වැනි” යැයි අධ්‍යයනයට නායකත්වය දුන් KU Leuven හී වෛරස් විද්‍යා විශේෂඥ ජොහාන් නයිට්ස් පවසයි.

2009 සිට නයිට්ස්ගේ කණ්ඩායම ස්වයංක්‍රීය අධි ක්‍රියාකාරී පරීක්ෂණ ක්‍රියාවලියක් භාවිතා කරමින් කුඩා අණු දස දහස් ගණනක් පරීක්‍ෂාවට් ලක් කළහ. රසායනඥයින් විසින් සොයා ගත් අණු කිහිපයක් ඔවුන් විසින් යම් යම් සංශෝධනයන්ට ලක් කිරීමෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සංයෝග 2000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළහ. JNJ-A07 ලෙස නම් කරන ලද ඉන් එකක්, අවසානයේදී පරීක්ෂණ නල අත්හදා බැලීම් වලදී සෙරොටයිප් හතරටම එරෙහිව සමානව බලවත් බව ඔප්පු විය.

ඊළඟට, පර්යේෂකයන් විසින් ඩෙංගු රෝගය වැළඳීමට ට පෙර සහ වැළඳීමට පසු මීයන්ට සංයෝගය ලබාදුන්නේ ඖෂධය ප්රතිකාරයක්  ලෙස නොව රෝග නිවාරකයක්(prophylactic) ලෙස ප්රයෝජනවත් විය හැකිද යන්න සොයා බැලීම සඳහා ය. අවස්ථා දෙකේදීම,  වෛරස් භාරය(load) අඩු කර ගැනීමට සහ වෛරස් මඟින් ඇති කරනු ලබන රෝග අඩු කිරීමට “ඉතාමත් ඵලදායී” වූ බව කණ්ඩායම Nature සඟරාවෙහි වාර්තා කරති.

මීයන් යොදා කළ පරීක්ෂණා ප්‍රතිඵල මඟින් මිනිසුන්ගේ ආරක්‍ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා වූ සායනික පරීක්‍ෂණ සාධාරණීකරණය කරන බව ක්ලේටන්හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විද්‍යාඥ කැමරන් සිමන්ස් පවසයි. එහෙත්,  කලින් නිල සෞඛ්‍ය සේවා විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි, විශ්‍රාමලත් ඩෙංගු පර්යේෂක ස්කොට් හැල්ස්ටෙඩ්   ඉහල බලාපොරොත්තු  තබා ගැනීම ගැන සැක පලකරයි. “මෙහි දක්වා ඇති ආකාරයේ පරීක්ෂණ නල දත්ත දත්ත හෝ මූසික ආකෘති දත්ත පවා සජීවීන්ගේ   හැසිරීම් පිළිබඳ විශ්වාසදායක පුරෝකථන දක්වන්නක් නොවන බව අත්දැකීම් පෙන්නුම් කර ඇත,” යයි ඔහු පවසයි.

වැඩිදුර රසායනාගාර කටයුතු මඟින් දක්වනු ලැබුවේ, ඩෙංගු වෛරසය සෛල තුළ දී ඩෙංගු වෛරසයට එහි පිටපත් සකසා ගැනීමට හැකි වෙන්  පරිදි  අන්තර් ක්‍රියා කරන ප්‍රෝටීන පහක එකලස්කිරීමක් වන ප්‍රතිදේහ සංකීර්ණයේ ක්‍රියාකාරිත්වය JNJ-A07  මගින්   අවහිර කරන බවයි. ඩෙංගු ප්‍රතිනිෂ්පාදන ප්‍රෝටීන අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලැබීම තුළින් නයිට්ස්ගේ ප්‍රයත්න රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් ඖෂධ සොයා ගැනීමට මග පෑදිය හැකි බව එම අධ්යයනයට සම්බන්ධ නොවන සිංගප්පූරුවේ Duke-NUS  වෛද්ය විද්යාලයේ වෛරස් විද්යාඥ එංග් ඊං ඕඕයි පවසයි.

එක් පැහැදිලි අඩුපාඩුවක් නම්, ප්‍රශස්ත ප්‍රතිඵල සඳහා වෛරස් ප්‍රජනනය ඉහළ මට්ටමකට ගෙන ඒමට පෙර රෝග ලක්‍ෂණ ආරම්භ වී දින කිහිපයක් ඇතුළත ඖෂධය ලබා දිය යුතු වීමය. බොහෝ ඩෙංගු රෝගීන් රෝගී වී තුන්වන හෝ සිව්වන දින වන තුරු වෛද්‍ය ආධාර පතන්නේ නැත. “සායනික ප්රතිලාභ ලබා දීම සඳහා චිකිත්සක අවස්ථාව ඉතා ලුහුඬුය” සිමන්ස් පවසයි.

” බොහෝ කල් බලා සිටියහොත් පමා වූවා වැඩි වන්නට පිළිවන්” යනුවෙන් නයිට්ස් සිය  එකඟතාව පළකරයි. ඖෂධය භාවිතයට යෙදවීමේ දී වෛද්‍යවරුන් සහ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර ද දියත් කළ යුතු බව ඔහු පවසයි. ප්‍රජා අතරේ පැතිරෙන වසංගතයක බලපෑම හෝ ඩෙංගු-වසංගත ප්‍රදේශයකට පැමිණෙන සංචාරකයින්ට ඇතිවන බලපෑම මැඩපැවැත්වීම සඳහා ඖෂධය රෝග නිවාරකයක් ලෙස ද භාවිතා කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඖෂධය දැනටමත් සායනික පරීක්ෂාවන් සඳහ යොදවා ඇති නමුත් ඒ පිළිබඳ විස්තර සැපයීමට නයිට්ස් පැකිළෙයි. නොවැම්බරයේ පැවැත්වෙන නිවර්තන හෛෂජ්‍ය සහ ස්වස්ථතාව පිළිබඳ ඇමරිකානු සංගමයේ(American Society of Tropical Medicine & Hygiene) වාර්ෂ්ශික ‍රැස්වීමේ දී විද්‍යාඥයින් යාවත්කාලීන කිරීමක් සිදු කරනු ඇතැයි ඔහු පවසයි. ඖෂධය කවදා ලබාගැනීමට හැකිවේද යන්න ගැන ඉඟියක් පළ කිරීමෙන් ද ඔහු වැළකී සිටියි.

AAAS Science හී පළවන First drug for dengue, an excruciating disease, may be on the horizon “Breakbone fever” infects 400 million and kills 25,000 every year  යන ලිපිය අසුරෙනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *